Loading...

අබාධිත මිනිස්සු පුරවැසියන් නෙවෙයිද ?

වසර 30 ක් පුරා පැවති මානුෂීය මෙහෙයුම හේතුවෙන් විවිධ ආබාධිත තත්වයන්ට පත් වූ උතුරේ ජනතාව වෙනුවෙන් මේ වනතුරුත්  කුඩම්මාගේ සැලකිලි ලැබීම නිසාවෙන් ආබාධිත වූවන්ගේ ජීවිකාව දැඩි අවධානම් තත්වයක පවතින බවට උතුරේ ආබාධිත වූවන් කියා සිටිති. පැවැති යුදමය තත්වයන් හේතුවෙන් පොලිස් , ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සිවිල් ජනතාව 274711 (දෙලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය එකොළහක්) පමණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව 2010 වසරේ දී සමාජ සුභ සාධන අමාත්‍යාංශය මගින් කරන ලද සංගණයේ දී අනාවරණය වී තිබණි.

මානුෂීය මෙහෙයුම අවසන් වී වසර 15 ක්  ගත වූ මෙම අවස්ථාවේදී ආබාධිත වූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානය නොහොත් වව්නියාවේ පිහිටි ඕර්හාන් ආයතනය මගින් පෙන්වා දෙන්නේ  ශ්‍රීලංකාවේ ජනගහනයෙන් 15 % ක්ම විවිධ ආබාධිත තත්වයන්ගෙන් පෙලෙන බවටත් එම ආබාධිත ප්‍රතිශතයෙන් වැඩිම ආබාධිතයින් පිරිසක් ජීවත් වන්නේ උතුරු හා නැගෙනහිර පලාත් වල බවටයි. ශ්‍රීලංකාව තුල උතුරු නැගෙනහිර ආබාධිත පිරිස් වැඩිවීමට බලපෑ ප්‍රධානතම හේතුව වශයෙන් එම ආයතනය විසින් පෙන්වා දෙන්නේ තිස් වසරක් පුරාවට පැවති යුදමය තත්වයේ බලපෑම නිසා බවටය.

උතුරේ විවිධ ආබාධිත වලට ලක් වූවන් වෙනුවෙන් රජයෙන් හා වෙනත් සංවිධාන මගින් ලබා දෙන ආධාර හා පහසුකම් නොලැබීම මත ඔවුන් දැඩි සේ අසරණව සිටින බවටත් දෛනික ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන බවටද උතුරේ ආබාධිත වූවන් කියා සිටියහ.

පළමුව මෙම ආබාධිත වූවන්ගේ ගැටලු සම්බන්ධයෙන් අනාවරණය කළ යුතුය.මේ වන විට උතුරේ වව්නියාව මන්නාරම ,කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන සියලුම දිස්ත්‍රීක්කයන්හි ජීවත් වන ආබාධිත වූවන් නාමිකව හුන්වනවාට වඩා ඔවුන්ගේ පොදු ගැටලු සම්බන්ධයෙන් අනාවරණයක් කළ යුතුය.

මෙරට විශේෂයෙන් උතුරු නැගෙනහිර පලාත්හි ආබාධිතයින් සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබුනේ යුද්දයෙන් පසුවය ඔවන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් හා සංවිධානද එසේමය නමුත් අද වන වට මේ අබාධිතයින්ට කන්න බොන්නට හෝ ජීවත් වන්ට නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇත.

අවසන් යුද්දය පැවති මුලතිව් දිස්ත්‍රීක්කයට ගිය විට දක්නට ලැබුනේ තමන්ගේ අත් පා නොමැති වුවද ජීවත් වන්නට වෙර දරන අයුරුය මේ පිරිස් විසින් පල කළ අදහස් කිහිපයක් මගින් වත්මන් අබාධ සහිත වූවන් හා ඔවුන්ගේ හෙට දිනය ගැන ඉතා හොඳින් පෙනී යයි. ඔවුන් විසින් කියා සිටියේ මෙවැන්නකි.

“මේ ප්‍රදේශයේ බහුතර ආබාධ සහිතව ඉන්න ජනතාව.. එයාල අබාධිත වුනේ උපතින් නෙමෙයි යුද්දෙ නිසා .අපේ අත් කකුල් ඇස් නැති වුනත් ජීවත් වෙන්න දවස පුරා මහන්සි වෙන එක තමයි කරන්නේ. අපි හැමොටම වගේ දරුවොත් ඉන්නවා. එක දවසක් හරි අපි මහන්සි නොවුනොත් අපේ දරු පැටව් බඩගින්නේ. දැන් එවා බලන්න කිසි කෙනෙක් නැහැ. හිටියොත් ඉන්නේ කව්රු හරි රාජ්‍ය නොවන සංවිධානයකින් තමයි. ඇයි අපි ගැන රජයට හොයන්න බැරි. ඇයි අපි මේ රටේ අය නෙමෙයිද? යුද්දේ ඉවර වෙනවත් එක්කම බොහොම අය රජයේ වගේම විදෙස් සංවිධානත් තිබුනා අපි වගේ අය වෙනුවෙන් .අනේ දෙයියනේ අපිට පස්සේ තමයි තේරුනේ ඒ අය ඉන්නේ බොරුවට අපි වෙනුවෙන් නෙමෙයි ඒ අයගෙම පැවත්මට ලෝකයට පේන්න කියල . දැන් යුද්දය අවසන් වෙලා අවුරුදු 15ක් වෙනවා. කොටසකට ගෙවල් නැහැ තවත් අයට ඉඩමක් නැහැ තවත් අයට ආබාධිත වුනත් රජයෙන් හෝ වෙන කව්රු හරි ලබා දෙන ආධාර ටික ගන්න විදිහක් නැත්තේ ආබාදිත වෛද්‍ය වාර්ථා නැති වීම ,තවත් අයට කන්න බොන්න විදහක්වත් නැති අය, මේ ගැටලු අතරේ තම දුවා දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදෙන්න නොහැකි වීම මේ වගේ ප්‍රශ්න තමයි මේ වෙන කොට අබාධිත අයට තියන ප්‍රධාන ගැටලු .

ආණ්ඩු කිහිපයක්ම පැවතුනා නමුත් කිසිම අයවැයකින් අපි වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් වුනේ නැහැ. ඇයි අපි මේ රටේ පුර වැසියො නෙමෙයිද? යුද්දය නිසා අපේ අත් කකුල් සිට සියල්ලක්ම නැති වුනා. ඇයි ඒ ගැන හිතන්නැත්තේ ? අද සමහර අත් කකුල් නැති අය ඇස් පේන්නේ නැති අයි බොහෝ පිරිසක් හිගා කන තත්වයකට පත් වෙලා .අපි ඉන්න පලාත් සංවර්ධනය කරන්නට පෙර ජනතාවගේ සංවර්ධනයක් ගැන හිතන්න ඕන. එකෙනුත් අපි වගේ ආබාධිත අසරණයින්ට මූලිකත්වයක් දෙන්න බැරි ඇයි කියලයි අපි නිතරම බලධාරීන්ගෙන් අහන්නේ.’’

2011 දී අපේ රටේ ජනගහනයෙන් 8.56% ක්  ආබාධිත වූවන් බව පෙන්වා දුන්නා නමුත් ඉතා මෑතකදී කිලිනොච්චිය කණ්ඩාවලෙයි හා පූනකරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් සිදු කරන ලද පරික්ෂණයකින් හෙලි වෙලා තියෙන්නේ අපේ රටේ ජනගහනයෙන් 15%කට  ආසන්න පිරිසක්ම ආබාධිතයින් බවටයි.

අබාධ සහිත වූවන් කොටස් වශයෙන් නම් කළහම ප්‍රධාන වශයෙන් දෙකක් ස්වාභාවික ආබාධ හා පාරසරික ආබාධ වශයෙන්ය.  පළමුවෙන්ම රජය තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ තමයි ආබාධිත අයත් මේ රටේම පුරවැසියො කියන එක නමුත් මේ වෙනකම් මොකද්ද වුනේ ජාතික අයවැයෙන් හැම දේටම මුදල් වෙන් කරල ඉතිරි වෙන මුදලක් තමයි මේ ආබාධිත අයට වෙන් කරන්නේ. සමාන ප්‍රජවක් වන මේ අය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් අවශ්‍යයි. යුද්දය ඉවර වෙච්ච රටක යුද්දයෙන් පීඩා වින්ඳ සහ තවත් විඳවන මේ ආබාධිතයින් වෙනුවෙනුත් ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් ජාතික අයවැයෙන් ලොකු මුදලක් වෙන් කළ යුතු බවටයි මේ අබාධිතයින්  ඉල්ලා සිටින්නේ.

මේ අබාධිත අය වෙනුවෙන් සෑම කෙනෙක්ම හිතන්නේ රිනාත්මක සිතුවිල්ලක් නමුත් අබාධිත දරුවෙක් පවුලක ඉන්නවනම් ඒ දරුව ගැන රිනාත්මක නොසිතා ඒ දරුවා දක්ෂ පැත්තකට යොමු කරන්න ඕන ජනතාවත් හිතන්න ඕන මේ අයත් අපි වගේම මේ රටේ පුරවැසියො කියන එක ගැන.මේ අබාධිත අයට තියන තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ආබාධිත කියන්න වෛද්‍ය වාර්ථාවක් නැති එක ආබාධිතයි කියාගෙන ඉන්නවා නමුත් ආබාධ බව පෙන්නන්න වාර්ථාවක් නැහැ මේ අයට ලැබෙන දෙයක්වත් දෙන්න විදිහක් නැහැ 

අවසන් වශයෙන් පෙනී යන්නේ අපේ රටේ ජනගහනයෙන් 15%ක්ම ඉන්න මේ ආබාධිතයින්ගේ හෙට දවස වෙනුවෙන් වගකීම රජය භාරගත යුතය එය වගකීමක් සේම යුතුකමකි. යුද්දයෙන් නැතිවූ ආලෝකය සාමයෙන් පසුව හො ලබා දිය යුතුය.

සටහන –   රොමේෂ් මධූෂංඛ


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *