ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර එය වඩාත් කාර්යක්ෂම කිරීමේ රජයේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කරන බවයි.
කෙසේ වෙතත්, යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ද විරෝධය පළකර තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කෙරුණා.
යෝජිත සංශෝධනය සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇති.
මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තියට අනුව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට දින 14ක කාලයක් පවතිනවා.
එලෙස ඉදිරිපත් වන පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව දින 3ත් 21ත් අතර කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුයි.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් ගොනු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සිවිල් සංවිධාන සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.







Leave a Reply