Loading...

හැටන් වලින් සුභාරංචියක්

මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් විවෘත කර නොමැති පුවත 2024 අප්‍රේල් 4වන දින අප රටට අනාවරණය කලා. 

හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන් මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවයන්ට ලක්ව සිටින බවත්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යංශය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් අදියර 4ක් යටතේ මෙම ඉදිකිරීම් සිදුකර ඇඇති බවත් SL Volg News තුලින් අප  පෙන්වා දුන්නා.

තවද ඉදිකරන ලද නව ගොඩනැගිල්ලේ ඇති වෙළදසැල් සදහා ලබාදීමට සකසා ඇති කාමර වල අයිතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති අතර එහි කෙටුම්පත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත්, එම එකගතාවය මත ඉහළ මහලේ වාණිජ කොටස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු නිළධාරී චලනි නාරංගොඩ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ සදහන් බවද අප අනාවරණ කල අතර, දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන තෙක් එම අවබෝධතා ගිවිසුමට අත්සන් කර නොමැති අතර මෙම නව ගොඩනැගිල්ල විවෘත වීම සිදු නොවන්නට කාරණය එයද යන්න ප්‍රශ්නාර්තක් බවත් අපගේ ලිපියෙන් රටට අනාවරණය කලා. 

එම අනාවරණයෙන් පසුව මාස දෙකක් වැනි කෙටි කාලයක් ගතවෙන මොහොතේ පසුගියදා  පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා හැටන් දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයට සහභාගිවී තිබේ. එහිදී ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිළදාරීන් සමගින් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළදාරීන් සමගින් සාකච්ඡා සිදුකර ඇති බවයි අනාවරණය වන්නේ. 

ඒ අනුව ඉතා ඉක්මනින් දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කල බවද සදහන්. නව දුම්රිය ස්ථානයේ ආරම්භ කිරීමට අදාළව සිදුකිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් නිම කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් මෙතෙක් නාගරික සංවර්ධන අධිකාරියේ වගකීම යටතේ පැවති හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිලි කොටසේ සියලු වගකීම්  දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරූ බවට ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරති.

නමුත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම වත්මන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ කාර්ය භාරයක් බවත් එතුමන් සහභාගි නොවී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මෙම ගැටලුවට මැදිහත්වීම විහිලු සහගත බවත්, මෙය මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් ජනතාව මුලා කිරීමක් බවයි ජනතාව අපහා සදහන් කර සිටියේ. කෙසේ වෙතත් මෙම දුම්රිය ස්ථානයේ ගැටලුව රට හමුවේ අනාවරණ කිරීම සම්බන්ධයෙන් SL Volg News නාලිකාවට සිය ස්තූතියද පුද කර සිටින ජනතාව අදාල බළධාරීන්ගෙන් නැවත ඉල්ලා සිටින්නේ ජනතාව මුලාවේ නොදමා නිසි ක්‍රමවේදයකින් පසුව නව දුම්රිය ස්ථානය ජනතාවට විවෘත කර දෙන ලෙසයි.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *