Loading...

හැටන් දුම්රිය ස්ථානයට වැදුණු බාලගිරි දෝෂය

රුපියල් මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරකට ආසන්න කාලයක්  ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් තවමත් විවෘතකර නොමැති බැව් තොරතුරු දැනගැනීමේ පනතින් අනාවරණයවී තිබේ. 

සිරීපාද සමය වෙනුවෙන් වර්ෂයේ මාස හයක කාලයක් විශාල සංචාරකයින් පිරිසක් භාවිතයට ගැනෙන හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන් මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවයන්ට ලක්ව සිටී.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යංශය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් අදියර 4ක් යටතේ මෙම ඉදිකිරීම් සිදුකර ඇත.

ඒ අනුව 1වන අදියර යටතේ රුපියල් මිලියන 91.96ක් ද

2වන අදියර යටතේ රුපියල් මිලියන 58.32ක් ද

3වන අදියර යටතේ රුපියල් මිලියන 48.8ක් ද

4වන අදියර යටතේ රුපියල් මිලියන 107.65ක් ද 

වශයෙන් ව්‍යාපෘතිය නිමකර ඇත. 1වන, 2වන සහ 3වන අදියරයන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශය විසින්ද අවසන් අදියර EHL කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ද සිදුකර ඇති බැව් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව එවන ලද RTI/2023/01/103 දරන ලිපියෙන් තහවුරු වෙයි.

නමුත් මේසා විශාල මුදලක් වැය කරමින් 2020 වසරේදී වැඩ අවසන් කර වසර හතරකට ආසන්න කාලයක් ගොස් ඇතත් තවමත් මෙම නව ගොඩනැගිල්ල විවෘත කර නොමැත. විවෘත කිරීමේ දිනයක් සබන්ධව අනාවරණය කිරීමට නොහැකි බවත් එය ඉදිරි දිනෙකදී සිදුකරන බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව එවන ලද ලිපියෙන් සදහන් වෙයි.

තවද ඉදිකරන ලද නව ගොඩනැගිල්ලේ ඇති වෙළදසැල් සදහා ලබාදීමට සකසා ඇති කාමර වල අයිතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති අතර එහි කෙටුම්පත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත. එම එකගතාවය මත ඉහළ මහලේ වාණිජ කොටස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු නිළධාරී චලනි නාරංගොඩ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ සදහන් වෙයි.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන තෙක් එම අවබෝධතා ගිවිසුමට අත්සන් කර නොමැති අතර මෙම නව ගොඩනැගිල්ල විවෘතවීම සිදු නොවන්නට කාරණය එයද යන්න ප්‍රශ්නාර්තයකි. 

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ / සැලසුම් (තොරතුරු නිළදාරී) ජේ.ඒ.ඩී.ආර්. පුෂ්පකුමාර මහතා විසින් තොරතුරු දැනගැනීම පනතට අනුව එවන ලද පී.එල්/987 අංක දරන ලිපියෙන් සදහන් කරන්නේ

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමේ පිහිටුවා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිමකර නොමැති බැවින් භාරකාරීත්වය පිළිබදව තීරණයකට එළඹ නොමැති බවත්, ඉදිකිරීම් කටයුතු සහ මූලික යටිතල පහසුකම් සම්බන්ධ කටයුතු සම්පූර්ණයෙන්ම නිමවී නොමැති බැවින් ගිවිසුම පරිදි ස්ථානීය සීමා නිර්ණයද සිදුකර නොමැති බවයි. තවද ජනතා පරිහරණයට ලබාදෙන දිනය නිශ්චිත නොවන බවද පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක්

පැරණි දුම්රිය ස්ථානයට කෙනෙකුට යන්න වුනාම ත්‍රීවීල් එකකින් යන්න වෙනවා. එහෙමත් නැත්නම් පයින් විශාල දුරක් යන්න තියෙනවා. මේ අලුතින් හදපු ගොඩනැගිල්ල තියෙන්නේ ප්‍රධාන මාර්ගය ඉදිරිපිටයි. ඉතින් මේ ගොඩනැගිල්ල ජනතාවට විවෘත කරලා දුන්න නම් එය ජනතාවට විශාල පහසුවක්. නාගරික සංවර්ධන අධිකාරියයි ‍දුම්රිය දෙපාර්තමේන්තුවයි අවුරුදු හතරක් තිස්සේ කඹ අදිනවා. යනුවෙන් පැවසීය.

නම සදහන් කිරීමට අකමැතිවූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථිකය පිළිබද මහාචාර්යවරයෙක් පැවසුවේ මෙවැන්නක්.

මේ ආකාරයේ ජනතාවට විවෘත නොවුණු ව්‍යාපෘති රාශියක් රටේ තියෙනවා. බොහෝ ව්‍යාපෘති ආරම්භ කරන ආණ්ඩුව වැඩ අවසන් කරනකොට නැහැ. ඉතින් අලුතින් එන ආණ්ඩුව එම ව්‍යාපෘතිය ගැන බලන්නේ නැහැ. මෙවන් ව්‍යාපෘතීන් නිසි පරිදි අවසන් කරලා ජනතාවට යහපත් ලෙස භාර දෙන්න නම් අමාත්‍යංශයේ ලේකම් වරයාගේ යටතේ ව්‍යාපෘතීන් ඇරඹිය යුතියි. එසේ නොවනතාක් හැමදාමත් මෙම තත්වය මෙහෙම තමයි.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *