Loading...

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වල වාචික දේශන ඉදිරිපත් කිරීම අද දින අවසන් කෙරුණු අතර, මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැණුනා.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පනත් කෙටුම්පතට අදාළ වැදගත් සංශෝධන කිහිපයක් අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සංශෝධනය කර ඇත.

එමෙන්ම, පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව තිබූ පච්ච හා සලකුණු සම්බන්ධ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, බරපතළ අපරාධ සිද්ධියකට සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට දැක්වෙන වගන්තිය ද ඉවත් කර ගැනීමට නීතිපතිවරයා පියවර ගෙන ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *