“යුක්තිය” මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2023 වසරේ දෙසැම්බර් 17 වැනිදාය.දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස යුක්තිය මෙහෙයුම ආරම්භ කරමින් කියා සිටියේ “පාතාලය” සහ “මත්ද්‍රව්‍ය” උවදුර මෙරටින් තුරන් කිරීම තම අරමුණ බවය.
යුක්තිය මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින විටත් තැන තැන වෙඩි පත්තු වන්නට විය.2024 ජනවාරි මාසය තුළදී පමණක් වෙඩි තැබීම් 14 ක් සිදුවී ඇත.එම වෙඩි තැබීම් වලින් 14 දෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇත.පෙබරවාරි සහ මාර්තු මාස වලදී ද තැනින් තැන වෙඩි තැබීම් සිදු වුයේ එය දින චර්යාවේ කොටසක් බවට පත් වෙමින් සහ යුක්තිය මෙහෙයුමට අභියෝග කරමිනි.
රට පුරා සිදුවූ වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන අතරින් වැඩි දෙනෙකුගේ අවධානයටත්,කථා බහටත්,කම්පනයටත් තුඩු දුන් අවස්ථාවත් ඉකුත් මාර්තු මාසයේ 26 වැනිදා සිදු විය.ඒ ඇල්පිටිය – පතිරාජවත්ත ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරිකවරයාව වෙඩි තබා ඝාතනය කිරීමය.තම පුතුව පාසලට කැදවා ගෙන යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින විට වෙඩි ප්‍රහාරයට ලක්වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා තම නිවස තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඝාතනය සදහා පැමිණි දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලා ගොස් ඇත්තේ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමිනි.සිද්ධිය දැන ගත් පොලිස්පතිවරයා ඇල්පිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාට සහ අවට කොට්ඨාසවල උසස් පොලිස් නිලධාරීන්ට පුද්ගලිකවම දුරකතනයෙන් කථා කරමින් උපදෙස් ලබා දුන්නේ “මොන සෙල්ලම දාලා හරි වෙඩි තියපු දෙන්නව අල්ලනවා” කියාය.ඒ අනුව ඇල්පිටිය කොට්ඨාසය තුළ මෙන්ම ආසන්න පොලිස් බල ප්‍රදේශ වලද ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක විය.නමුත් ඒ කිසිදු මාර්ග බාධකයකට හෝ විමර්ශණ නිලධාරීන්ට හසු නොවී ඝාතකයින් දෙදෙනා පලා ගියේ පොලීසියටද කොකා පෙන්නමිනි.
එතනින් නොනැවතුනු වැඩ බලන පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාද සමග ඝාතනයට ලක්වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණියේය.ඒ රෝෂන් මහතාගේ නිවසටය.එම ස්ථානයේදීම මාධ්‍ය අමතමින් “කැට” තබා දේශබන්දු තෙන්නකෝන් එවකට වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේ කුමන ආකාරයට හෝ ඝාතකයින් කොට කිරීම තමන් විසින් සිදු කරන බවයි.
ඝාතනයට ලක්වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතාගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 07 ක් පත් කරන ලදි.පොලිස් විශේෂ කාර්ය බලකායද ඒ අතර විය.
පරිපාන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පදිංචි නිවසට යාබද නිවසක පොලිස් නිලධාරියෙකු පදිංචිවී සිටින බවත්,ඇතැම් විට ඝාතකයින්ගේ ඉලක්කය වැරදීමක් සිදුවී ඇති බවටත් ඇතමුන් කියා සිටියේය.නමුත් පසුව හෙලිවූයේ එම පොලිස් නිලධාරියා කිසිවෙකුගේ ඉලක්කයක් වී නොතිබුණු බවය.
මේ අතර තුර ඇල්පිටිය – ඌරමංගස්හන්දිය ප්‍රදේශයේදී තිබී ගිනි තබන ලද යතුරු පැදියක් පොලීසියට හමුවන්නේය.විමර්ශණ සිදු කරන පොලිසිය කියා සිටින්නේ ගිනි තබා විනාශ කර ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඩෙඩි තැබීම සදහා ඝාතනකයින් පැමිණි යතුරු පැදිය බවය.ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා 100 කට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමෙන් ලබා ගත් තොරතුරු යතුරු පැදිය හදුනා ගැනීමට ඉවහල් වූ බවද පොලීසිය එහිදී ප්‍රකාශ කර සිටින්නේය.පසුව එම යතුරු පැදියේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නේද තවත් මාධ්‍යන්ට තවත් පුවතක් නිර්මාණය කරමිනි.
කිසියම් ඝාතනයක් සිදුවූ විට පොලීසිය විමර්ශණ කටයුතු සිදු කරන ආකාරය අප මීට පෙර දැක ඇත්තෙමු.ඔවුන්ට අවශ්‍ය වන්නේ කඩිනමින්“ ලිපි ගොණුව” එහෙමත් නැත්නම් “පොත” වසා දමන්නටය.විජය කුමාරතුංග,ප්‍රේමකීර්තිද අල්විස් වැනි අය ඝාතනය කළ බව කියන පුද්ගලයින් රැසක් ඒ කාලයේදී පොලීසියට කොටු වී තිබුණි.පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකු කියා ඇත්තේ එම ඝාතනයන් තමන් විසින් සිදු කළ බවය.
එම ප්‍රකාශ පොලීසිය විසින් බලහත්කාරයෙන් පොතේ සටහන් කලාද,එසේත් නැත්නම් ඇත්තටම අත්අඩංගුවට ගත් අය ප්‍රකාශ කලාද යන්න දන්න කෙනෙක් නම් නැත.එම ප්‍රකාශ ඒ තරමටම රහසිගතය.ඒ නිසාම ගිනි තබා තිබියදී හමුවූ යතුරු පැදිය පිළිබදවද ඇත්තේ එවන් සැකයකි.මන්ද යතුරු පැදිය පදවාගෙන ආ අයෙකු හෝ ගිනි තැබීම සිදු කළ අයෙකු සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක්,ඇසින් දුටු සාක්ෂියක් මේ වන තුරු සොයා ගැනීමට පොලීසියට නොහැකි වී තිබීම නිසාය.
මහජන සෞඛ්‍ය පරීක්ෂක යනු සුවිශේෂී තනතුරකි.අධ්‍යාපන බලධාරීන් හැර පාසල් “ලොග් පොතේ” සටහනක් තැබිය හැකි එකම රාජ්‍ය නිලධාරියා වන්නේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාය.එමෙන්ම අපි උපන් දා සිට මිය යන තෙක්ම සේවය ලබා ගත යුතු රාජ්‍ය නිලධාරියා වන්නේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයායය.එම හේතුව නිසාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් විවිධාකාර වූ තීන්දු තීරණ ගැනීමට සිදු වන්නේය.
ඝාතනයට ලක්වූ රෝෂන් කුමාර මහතාද එවැනි තීන්දු තීරණ එඩිතරව ගෙන ඇති නිලදාරියෙකු බව ඔහු සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.ඇතැම් ආහාර නිෂ්පාදන ආයතන වලට ඔහු “හිසරදයක් ” වී තිබුණු බව කියති.එමෙන්ම සහෝදර නිලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරි කටයුත්තකදී හෙතෙම විශේෂඥ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබුණි. ඇතැම් අවස්ථා වලදී අධිකරණයන් හී පෙනී සිටිමින් නඩු මෙහෙයවීම පවා සිදු කර තිබුණි.
ඝාතනය සිදු වන්නට ආසන්න කාලයේදී රෝෂන් කුමාර මහතා කිසියම් තැති ගැනීමකින් සිට ඇති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.මාස 03 ක පමණ කාලයක් නිල ඇදුම් ඇදීම නොකළ ඔහු වැටලීම් සදහාද සහභාගි වී නැත.නමුත් පුදුමයට කරුණ වන්නේ ඒ කිසිවක් සමීපතමයෙකුට,එසෙත් නැත්නම් සහෝදර නිලධාරියෙකුට හෝ පවුලේ අයෙකු සමග පවසා නොතිබීමය.
ඒ නිසාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතාගේ ඝාතකයින් සෙවීම “පැටළුණු නූල් බෝලයක් ලිහනවා” වැනි යැයි පොලිස් නිලධාරීන් කියා සිටින්නේය.
කෙසේ වෙතත් තම සගයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදු කරන විමර්ශණ පිළිබදව සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී. ආහාර පනත උල්ලංඝනය කරමින් සිය වෙළඳ ව්‍යාපාර කටයුතුවල නිරත වන ඇතැම් ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සහ අලෙවි ආයතනයන්ගේ හිමිකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිමට කනිෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මැලිකමක් දක්වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල රෝහණ සඳහන් කරයි. සංගමයේ භාණ්ඩාගාරිකව සිටි කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මෙවැනි නීති විරෝධී වැටලිම් දිගින් දිගටම ක්‍රියාත්මක කර නීතියේ රැහැනට වරදකරුවන් හසුකර දඩුවම් ලබා දිම හේතුවෙන් ඔහුව ඝාතනයට ලක්වන්නට ඇතැයි සංගමයේ කනිෂ්ඨ සාමාජිකයින්ගේ විශ්වාස වී ඇති ඇතැයි ද ඔහු පැවසුවේය.
කෙසේ නමුත් මෙම ඝාතකයා තවමත් සොයා ගැනීමට පොලිසිය අසමත් වූ බැවින් කණිෂ්ඨ සාමාජිකයනින් දෙගිඩියාවට පත්ව සිටින අතරම මෙම ඝාතනයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඝාතනය කිරීමට හේතුව මහජනතාවට අනාවරණය නොකිරීම නිසා තම සාමාජිකයින් දැඩි ලෙස කලකිරීමකින් යුතුව රාජකාරි කරන බවද හෙතෙම කියා සිටී.
කොහොම නමුත් ඝාතනය සිදුවී දැන් ඉතිං මාසයක් ගෙවී ගොස් ඇත්තේය.යුක්තිය මෙහෙයුමද තවමත් ක්‍රියාත්මක වන්නේය.ඒ පාතලයේ කුඩා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු කර ගැනීම ඉලක්ක කර ගනිමිනි.නමුත් ඒ කිසිදු මෙහෙයුමකින් ඝාතනයට ලක්වූ රෝෂන් කුමාර මහතාගේ බිරිදට හෝ දරුවන්ට “යුක්තියක්” නම් ඉටු වන බවක් පෙනෙන්නට නැත.
කුමන ආකාරයට හෝ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම කළ යුතුව ඇත.ඒ වාගේම රෝෂන් කුමාර මහතා ඝාතනය කිරීමට හේතුවද රටට අනාවරණය කළ යුතුය.එසේ නොවන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගෙන්ද සුපිළිපන් සේවාවක් බලාපොරොත්තු වීමට අපට හැකියාවක් නොමැත . මන්ද සමාජය යහපත් කිරීමට වරදකරුවන්ට නිතිය ක්‍රියාත්මක කර අනතුරට පත් වන තම ජීවිතයේ , පවුලේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නීතිය රකින අදාල ආයතන බැදී නොසිටින බැවිනි .
සටහන – ජූඩ් සමන්ත
Leave a Reply