වැළිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම අතහැර දැමීමෙන් ඒ සදහා වෙන්කෙරුණු රුපියල් මිලියන 260ක මුදල අපතේ ගොස් ඇතැයි එම ගම්මානයේ ජනතාව පෙන්වා දෙනවා.
ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 260 ක වියදමින් 2018 වසරේදී මෙම මාර්ගයේ කිලෝමීටර් 8 යි දශම 5 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කල අතර 2020 වර්ෂයේ මෙම මාර්ගය නිසි ලෙස සංවර්ධනය කර අවසන් කිරීමටත් සැලසුම් සකස් කර තිබුණු බැව් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙක් පැවසීය.
නමුත් 2020දී අවසන් කිරීමට තිබූ සංවර්ධන කටයුතු 2024 වන මේ මොහොත වන විටත් වැඩ අවසන් කර නොමැත.
වැලිමඩ නගරයේ සිට ලන්දේගම, කබිල්ලේගම, නැදුන්ගමුව, මාවිතිකුඹුර, කෙරදිමුල්ල, අලුගොල්ල ආදී ගම්මාන රැසකට යෑමට ඇති ප්‍රධානම මාර්ගය වන වැලිමඩ – කෙරදිමුල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අතරමග නතර කිරීම හේතුවෙන් එම මාර්ගය දෛනිකව භාවිතා කරන පවුල් දෙදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින සිය ගමනා ගමනයට මෙන්ම තම බෝග වගාවන් ප්‍රවාහනය කිරීමට මෙම මාර්ගය භාවිතා කරන බව ගම්මුන් පවසති.
එමෙන්ම ඕහිය, බෝගහකුඹුර, බොරලන්ද ආදී ප්‍රදේශවලට යෑමට කෙටි මාර්ගයක් ලෙසත් බොහෝ දෙනෙක් මෙම වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය භාවිතා කරති.
කෙසේ වෙතත් මාර්ගයේ ස්ථාන කිහිපයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු අනෙක් කොටස් වල වැඩ අතර මග නතර කර අදාල සංවර්ධන කටයුතු සදහා ගෙන ආ යන්ත්‍රෝපකරණද අදාල කොන්ත්‍රාත් සමාගම විසින් රැගෙන ගොස් ඇති බවයි ජනතාව චෝදනා කරමින් කියා සිටින්නේ. මේ හේතුවෙන් මේ වන විට මාර්ගයේ සංවර්ධන කටයුතු අතර මග නතර කර ඇති ස්ථාන වලින් ගමන් කිරීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන අතර මාර්ගයේ බස් රථ 16 ක් දෛනිකව ධාවනය වුවද ඒවාද මේ වන විට විටින් විට ධාවනය කරන තත්වයකට පත්ව ඇති බවත් ජනතාව කියා සිටී.
වර්ෂා දින වල මෙම මාර්ගයේ අබලන් ස්ථාන වලින් වාහන ධාවනය කිරීම දැඩි අවධානම් තත්වයක් ඇති කරන බව පවසන ජනතාව වැඩි දුරටත් කියා සිටින්නේ වර්ෂා දින වල බස් රථ කරගහවෙල දක්වා පමණක් ධාවනය කරන බවයි. නැදුන්ගමුව ග්‍රාමීය රෝහල වෙත දිනපතා රෝගීන් පැමිණිමට ද මෙම මාර්ගය භාවිතා කරන අතර මාර්ගයේ පවතින අබලන් තත්වය හේතුවෙන් ඔවුන්ද දැඩි පීඩාවට පත්වන බවත් ජනතාව පෙන්වා දෙයි.
කෘෂි කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් පවුල් රැසක් ජීවත් වන මෙම ගම්මාන වල සිට කෘෂි අස්වනු කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දක්වා ප්‍රවාහනය කිරීමේදීද ගොවින් දැඩි පීඩාවට පත්ව ඇති බව පවසන ගොවින් වැඩි දුරටත් කියා සිටින්නේ මේ හේතුවෙන් තමන්ට එළවළු ප්‍රවාහනයේදී වැඩි කුලියක් වාහන වලට දැරීමටද සිදුව ඇති බවයි.
එම නිසා තමන් මේ පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සොයා බලා මෙම මාර්ගයේ අතරමග නැවතුන සංවර්ධන කටයුතු යලි ආරම්භ කර මාර්ගය නිසි ලෙස කාපට් අතුරා සංවර්ධනය කර දෙන මෙන් ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
සටහන – ජයලත් දිසානායක





Leave a Reply