Loading...

ගම්මුත් බය වෙන කලර් ලයිට් එක

2021.08.06 වන දින වැඩ අවසන් කර මෙතෙක් ක්‍රියාත්මක නොවන බදුල්ල විහාරගොඩ මුතියංගණ විහාරස්ථානය ඉදිරිපිට ඇති රථවාහන ආලෝක සංඥා පුවරු වෙනුවෙන් දැරූ මුදල කිසිදු ප්‍රයෝජනයක් නොවන තත්වයකට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙයි.

සවුදි/ඔපෙක් ආධාර යටතේ බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙම රථ වාහන ආලෝක සංඥා පුවරු ස්ථාපිත කෙරිණ. එය මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර පිහිටි නිර්මාණ කාර්යාලයෙන් සැලසුම් කර ඇති අතර ICC සමාගම හරහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD&CC) මගින් මෙහි ඉදිකිරීම් සිදු කර ඇත.

ඒ වෙනුවෙන් රුපියල් එක් කෝටි හැටතුන් ලක්ෂ තිස් දහස් තුන්සිය පනස් දෙකයි ශත තිස් හයක (16,330,352.36) මුදලක් වැයව ඇති බැව් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිළධාරියා විසින් RDA/BCRIP/PE-2/PD/16 අංක යටතේ නිකුත් කෙරුණු ලිපියෙන් අනාවරණය වී තිබේ.

මීටර් 4ක් උස සංඥා කුලුණු 12ක් සහ මීටර් 7ක් උස සංඥා කුළුණු 7ක් ඉදිකිරීම වෙනුවෙන් මෙම මුදල වැයව තිබේ. එහි බිල්පත් වලට අනුව අවසාන ගෙවීම ICC සමාගම මගින් SD&CC සමාගම වෙත 2022.03.01 වන දින ගෙවා ඇති බවත් තොරතුරු නිළධාරියා විසින් නිකුත් කෙරුණු ලිපියේ සදහන්.

2021.08.06 වන දින වැඩ අවසන් කර අවසන් පරීක්ෂාවද සිදු කෙරුණු මෙම ආලෝක සංඥා පුවරු පළමු වරට ක්‍රියාත්මක කර ඇත්තේ 2022.01.07 වන දිනයි. එසේ ක්‍රියාත්මක කෙරුණු ආලෝක සංඥා පුවරු පසුදිනම තාවකාලිකව නවතා දැමීමට රථවාහන පොලීසිය කටයුතු කර ඇත. රථවාහන පොලීසිය එසේ කටයුතු කර ඇත්තේ එම ආලෝක සංඥා පුවරු ආශ්‍රිත සියලූම මංමාවත් දැඩි රථවාහන තදබදයකට ලක්වීම හේතුවෙනි. මේවන විට වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට කහ පැහැති විදුලි පහන් පමණක් විටින් විට දැල්වීම් සිදුකර ඇත.

එම දැල්වුණු කහ පැහැති විදුලි පහන් වෙනුවෙන් මේ වන විට රුපියල් 27,419.90ක මුදලක් ද ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට සිදුව ඇත.

මෙම ස්ථානයේ රථවාහන සැලසුම පිළිබදව දැනුවත් කිරීම රථවාහන පොලීසිය මගින් සිදු කර ඇති අතර, ආලෝක සංඥා පුවරු සවිකිරීමේ කටයුතු පූර්ව සැලසුම් අනුව අදාල දත්ත තොරතුරු පදනම් කර ගනිමින් සිදුකර ඇති බවත් මෙම ස්ථානය සදහා ආලෝක සංඥා යෙදීමේදී පැවති ඉඩකඩ සීමිත වූ බැවින් වටරවුම මතින් එක් වරකට එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරීමට ඉඩකඩ ලබාදී ඇති අතර එමගින් තත්පර 110කට ආසන්න කාලයක් එක් වටයක් සදහා ගතවන ආකාරයට සැලසුම් කර ඇත.  

ආලෝක සංඥා ආරම්භ කොට  අවස්ථා කිහිපයකදී පිරික්සුම් වට කිහිපයක් පවත්වා සුදුසු පරිදි කාලය හා සංඥා වල පිළිවෙල වෙනස් කරනු ලැබීමෙන් පසුව ආලෝක සංඥා ක්‍රියාත්මක කෙරුණු බවත් රියදුරන්ට ඒ සදහා අනුවර්ථනය වීමට යම් කාලයක් අවශ්‍ය බව තොරතුරු දැනගැනීමේ ලිපියෙන් පෙන්වා දී ඇත. 

මෙම ආලෝක සංඥා පිහිටි මංසන්ධියෙන් බදුල්ල නගරයේ පහල වීදිය, බැංකුව පාර, දුම්රියපොල පාර හැරුණු කොට ප්‍රධාන නගරයකට පිවිසිය හැකි මාර්ගයක් ලෙස ඇත්තේ පස්සර නගරය වෙත දිවෙන මාර්ගය පමණයි. එවන් ස්ථානයක ආලෝක සංඥා කුලුණු 19ක් සවිකර තිබීම විමතියට කරුණක් බවයි බදුල්ල වෙළද සංගම් නිළධාරියෙක් සදහන් කලේ.   

මෙම ස්ථානය හරියට බොරැල්ල වටරවුම වගේ. මෙච්චර කලර් ලයිට් දාන්න ඕනි තැනක් කියලා අපිට නම් පේන්නේ නැහැ. ගම්වලින් එන සමහරු මෙම කලර් ලයිට් දැකලා බයවෙනවා. ඇයි කොයි පැත්තෙන් යන්න ගියත් පේන්න තියෙන්නේ කලර් ලයිට් කණු. මේ නිරපරාදේ වැයවුණු මුදලක්. මෙවැනි ව්‍යාපෘති සිදුකරන්නට අවසර දුන්නු අයයි මේවා නිර්මාණය කල නිළදාරීන්ගෙනුයි මේවට වැයවුණු මුදල් අයකර ගන්න ඕනි. 

කෙසේ වෙතත් ඉදිකිරීම් අවසන්ව වසර දෙක හමාරක කාලයක් ඉක්මවා ඇති මොහොතක කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති මෙම ආලෝක සංඥා පුවරු වෙනුවෙන් වැයවූ රුපියල් අප ජනතාවගේම බදු මුදල් බව අමතක කල හැකිද. ජනතාව පවසන පරිදි කිසිදු වාහන තදබදයක් නොතිබුණු මෙම ස්ථානයේ ආලෝක සංඥා ඉදිකෙරුණේ කුමන අරමුණක් ඇතිවද. යන ප්‍රශ්නය පමණක් ඉතිරිව තිබේ.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *