පවතින අධික වර්ෂාව සමඟ කැළණි, කළු, නිල්වලා සහ ගිං යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඊයේ (01) රාත්‍රියේ සිට කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලබා ඇති බව සඳහන්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට, අයගම, ඇලපාත, නිවිතිගල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
තවද කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, දොඩංගොඩ, ඉංගිරිය සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ (01) රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය බවයි.
ඊට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව සමඟ නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, අක්මීමණ, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා.
එමෙන්ම කැළණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ද ඊයේ (01) රාත්‍රියේ සිට දැඩි වර්ෂාවක් ලැබෙමින් පවතින බව වාර්තා වනවා.
Leave a Reply