නඳුන් චින්තක නොහොත් හරක් කටාව ලබන මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වෙත ඔහු අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව හරක් කටාව තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්යාංශය යටතේ තිබෙන රැඳවුම් කඳවුරේ රඳවා තැබීමට නියමිතයි.
දින 362ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා ගෙන ප්‍රශ්ණ කෙරුණු ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක නොහොත් “හරක් කටා” අද (11) රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
2022 වසරේ අගෝස්තු මසදී විදේශගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ලද නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේ නමුත් හරක් කටා මෙරටට ගෙන්වා ගැනීමට සිදුකළ යුතු උදර්පණ කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලීසිය හරක් කටාව මුදා හැර තිබුණා.
ඉන් අනතුරුව 2023 මාර්තු 07 වනදා මැඩගස්කරයේ දී “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු 07 දෙනෙක් යළි අත්අඩංගුවට පත් වුණා.
ඔවුන් නැවත දිවයිනට රැගෙන ආවේ 2023 වසරේ මාර්තු මස 15 වැනිදායි.
ඉන්පසුව ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන ප්‍රශ්ණ කෙරුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවයි.
එලෙස CID භාරයේ රඳවා සිටින අතරතුර හරක් කටා ඉන් පැන යාමට උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.
කෙසේ නමුත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් අනතුරුව හරක් කටා සහ කුඩු සළිඳු අද (11) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණා.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා රැගෙන යනු ලැබුවා.
Leave a Reply