කටුනායක ගුවන් තොටුපොළේ වීසා ගැටළුව සම්බන්ධව සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඊයේ (14) කැඳවා තිබුණත් කිසිඳු නිලධාරියෙකු හෝ පැමිණ නොමැති බව වාර්තා වනවා.
එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ නිලධාරීන්ගේ මෙම ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද කැඳවලා තිබුණා. එන්න හැකියාවක් නැහැ කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් අපිට ලියුමක් ලැබුණා. ජේෂ්ඨ සහකාර ලේකම් අත්සන් කරලා තිබුණේ.
වීසා ප්‍රශ්නය ගැන දෙවෙනි දිනයට සාකච්ඡා කිරීමට අද දිනය යොදාගෙන තිබුණා. නිලධාරීන් කිසිම කෙනෙක් පාර්ලිමේන්තු ආවේ නෑ.ලේකම්තුමාට ඕන නිසා තමයි අද දිනය දාගත්තේ. ඒක අපි කළා. මේක සම්පූර්ණයෙන්ම වරප්‍රසාද කඩවීමක්.
පාර්ලිමේන්තුවට කැඳෙව්වම නිලධාරියකුට නෑවිත් ඉන්න හැකියාවක් නැහැ. සාධාරණ හේතුවක් උඩ අවස්ථාව තියෙනවා. මම මේ ගැන අතිශයින්ම කනගාටු වෙනවා. කමිටු සාමාජිකයන්ගේ එකඟතාවය අනුව ඊළඟ පියවර අපි ගන්නවා. ජනතා මුදල් ගැන ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. කොහොමද නෑවිත් ඉන්නේ?. මෙවැනි දෙයක් වෙන පළමු අවස්ථාව.”
Leave a Reply