Loading...

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික බැටරි පරීක්ෂණාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගසම්පූර්ණ ජාතික බැටරි පරීක්ෂණ මධ්‍යස්ථානය වන ‘විද්‍යුත් ප්‍රවාහන සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය’ (Centre for E-Mobility and Battery Technology) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේදී (NERDC) ඊයේ (23) නිල වශයෙන් විවෘත කෙරුණා.

රජයේ ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් වෙන් කළ රුපියල් මිලියන 118ක් සහ NERDC ආයතනයේ දායකත්වයෙන් ලබා දුන් රුපියල් මිලියන 43.5ක් ඇතුළුව රුපියල් මිලියන 161.5ක පමණ ආයෝජනයකින් මෙම පහසුකම ස්ථාපිත කර තිබෙනවා.

සාම්ප්‍රදායික බැටරි පරීක්ෂාවන්ගෙන් ඔබ්බට ගොස් නවීන බැටරි තාක්ෂණයන් ඇතුළත් කරමින් මෙරට බැටරි පරීක්ෂණ හැකියාවන් පුළුල් කිරීම සහ විද්‍යුත් ප්‍රවාහන මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි සංවර්ධනයට සහාය වීම මෙම මධ්‍යස්ථානයේ අරමුණයි.

දේශීය නිෂ්පාදකයින්, ආනයනකරුවන්, පර්යේෂකයින් සහ තාක්ෂණ සංවර්ධකයින් වෙත විශේෂිත පරීක්ෂණ සේවා සැපයීමටත්, දේශීය නිෂ්පාදන සංවර්ධනයට සහ දේශීය අගය එකතු කිරීම ඉහළ නැංවීමටත් මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

නවීන පරීක්ෂණ පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මගින් විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව මෙන්ම විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ ද පරීක්ෂා කිරීමේ පහසුකම් සලසා දී තිබෙනවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රොෂානි දිසානායක, NERDC සභාපති ආචාර්ය චිත්‍රාල් අම්බාවත්ත, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් සහ දෙස් විදෙස් කර්මාන්ත නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *