ඉදිරියේදී තායිලන්තයේ නිල සංචාරයකට එක්වන ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබෙනවා.
මෙරට නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ (22) පැවති ද්විපාර්ශ්වික හමුවේදී මෙම ආරාධනය සිදු කෙරුණු අතර, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා.
තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා මෙරටට පැමිණ සිටිනවා.
මෙම ද්විපාර්ශ්වික හමුවේදී වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට නායකයන් එකඟ වූ අතර, කෘෂිකාර්මික ක්ෂේත්රයට අවශ්‍ය තාක්ෂණික සහාය ඕනෑම අවස්ථාවක ලබා දීමට තායිලන්තය සූදානම් බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
එමෙන්ම තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තම රටේ පුරවැසියන්ට හා සමානව සලකන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව පූර්ණ වගකීම දරන බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.







Leave a Reply