නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.
එරට වෙසෙන ලාංකිකයන් ගණන 102ක් වන තර ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව සිටින අතර ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මේ අතර නේපාලයේ තත්ත්වය හමුවේ ලුම්බිණිය වැඳපුදා ගැනීමට ගිය ශ්‍රි ලාංකිකයන් 73ක් ආරක්ෂිතව ලුම්බිණි ශ්‍රි ලංකා විහාරයේ මේ වනවිට රැඳී සිටින බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව පවසන්නේ උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදු කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් විරෝධතාකරුවන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර් මෙලෙස මියගොස් තිබෙනවා.
ඇයව විරෝධතාකරුවන් විසින් කත්මන්ඩු නුවර පිහිටි නිවසේ සිරකර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වනවා.
සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් රජය ගත් තීන්දුවට එරෙහිව නේපාලයේ කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වුණා.
මේ වන විට ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ ද විරෝධතාකරුවන් එය නොතකමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ද සිය ධුරවලින් මේ වන විටත් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් විසින් නේපාලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ද ගිනි තබා ඇති බව වාර්තා වනවා.







Leave a Reply