ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසා මහතාට එරෙහිව සෞදි අරාබි රාජධානියේ පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වා ගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය තීරණය කර තිබෙනවා.
එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය බලවත් ප්‍රසාදය සහ සතුට පළ කර සිටිනවා.
සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර, වැඩිදුර නඩු කටයුතු සඳහා එම නඩුව අල් – අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කිරීමට සෞදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ඔක්තෝබර් 13 වැනිදා තීන්දුවක් ලබා දී තිබුණා.
ඒ අනුව, ඔක්තෝබර් 27 වැනිදා පැවැති නඩු විභාගයේදී අදාළ නීතිමය ක්රියාපාටීන් යටතේ නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කෙරුණු අතර, විමර්ශන අවසන් වීමෙන් පසු එහි ඉදිරි කටයුතු නවතා නඩුව නිල වශයෙන් අවසන් කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණයත් සමඟ සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් සම්පූර්ණයෙන්ම අවලංගු වන අතර ඒවා තවදුරටත් බලාත්මක නොවන බව ද තහවුරු වනවා.
මේ අතර, නඩුව නිල වශයෙන් අවසන් වීම සහ සිවරාසා මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට සිදු කෙරෙමින් පවතින කටයුතු ඇතුළු නවතම ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (11) අමාත්‍යාංශයේදී සිවරාසා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසුණා.
මෙම ක්‍රියාවලිය පුරා ලබා දුන් සහයෝගීතාව සහ ඵලදායී මැදිහත්වීම සම්බන්ධයෙන් සෞදි අරාබි රාජධානියේ රජයට සහ අදාළ බලධාරීන්ට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කර ඇත.
එමෙන්ම, සෞදි නීති විශේෂඥයන් සමඟ සම්බන්ධීකරණයෙන් නීතිමය සහාය ලබා දීමට රියාද් නුවරට ගොස් කටයුතු කළ ශ්‍රී ලාංකික නීති විශේෂඥයන්ගේ සාමූහික ප්රයත්නය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ද අමාත්‍යාංශය ඇගයීමට ලක් කළා.
සෞදි අරාබියේ ස්වෛරීභාවය සහ අධිකරණ ක්‍රියාපටිපාටි වෙත පූර්ණ ගෞරවය දක්වමින් අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම සාර්ථකත්වය අත්කර ගෙන තිබෙනවා.
සිවරාසා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය කටයුතු සම්පූර්ණ කිරීම තහවුරු කර ගැනීම පිණිස, විදේශ කටයුතු අමාත්‍යාංශය රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබ සාධනය සහ යහපත සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස කැපවී සිටින අතර, ඉදිරියටත් සියලුම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල හරහා අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය අඛණ්ඩව ලබා දෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරනවා.






Leave a Reply