Loading...

, ,

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක මූලික විමසීම් දින හයක් පුරා පැවැත්වීමෙන් පසු අද උදෑසන 9.30ට එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන නොවෙම්බර් 09 වැනිදා යළි කැඳවන ලෙසයි.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළහ එක 12.(1) උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපාබේවර්ධන, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති සහ දේශබන්දු තෙන්නකෝන් යන වගඋත්තරකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන කාලසීමාව තුළදී පොලිස්පති ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා සුදුස්සෙකුට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාය, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ සුරේන් ‌ප්‍රනාන්දු, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ ලක්ෂාන්ඩයස් ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාත් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් හතර දෙනකු වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සහ නීතිඥ බිනුර ගුණරත්න මහතාත්, ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් හා නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතාත් කරුණු දැක්වූහ.

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් වන අපරාධ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නැයි නීතිපති දැනුම් දුන් දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස තවදුරටත් තබා ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම ඉල්ලීම පුදුම සහගත බව කරුණු දැක්වීම් අතරතුර දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය. එසේම ඔහුගේ පත්වීම ව්‍යවස්ථාවට අනුව සිදුවී නැති බවත්, කතානායකවරයා ජනාධිපතිට අදාල තීන්දුව දැනුම් දී ඇත්තේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවෙන් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙන්වා දුන්නේය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේ දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති පසුබිමක ඔහු පොලිස්පති ලෙස පත් කිරීම මගින් ජනාධිපතිවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *