චීනය තුළ සිදු කෙරෙන අමෙරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් වැඩි කිරීමට එක්සත් ජනපදය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස චීන වාණිජ අමාත්යාංශය ඉල්ලා සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
සංවේදී තාක්ෂණික ක්ෂේත්ර ඉලක්ක කරගනිමින් යෝජනා කර ඇති මෙම නව රෙගුලාසි මගින් දෙරට අතර පවතින වෙළෙඳ සබඳතාවලට දැඩි බාධා පැමිණෙන බව චීනය පෙන්වා දෙනවා.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (US Treasury Department) විසින් විදේශීය ආයෝජන ආරක්ෂණ වැඩසටහන යාවත්කාලීන කිරීම සඳහා වූ යෝජනා මාලාවක් පසුගියදා නිකුත් කර තිබුණා.
එම නව යෝජනාවලට අනුව, ආයෝජන සීමාසහිත ක්ෂේත්ර අතරට ජෛව තාක්ෂණය (Biotechnology) අලුතින් එකතු කර ඇති අතර, අධි-කාර්යසාධන පරිගණකකරණය (High-performance computing) සහ අති-ධ්වනිත පද්ධති (Hypersonic systems) ද ආවරණය වන පරිදි එම සීමාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙරද අර්ධ සන්නායක (Semiconductors), ක්වොන්ටම් තාක්ෂණය (Quantum technologies) සහ කෘතිම බුද්ධිය (Artificial Intelligence) යන ක්ෂේත්රයන්හි චීනය සම්බන්ධිත ඇතැම් අමෙරිකානු ආයෝජන සීමා කිරීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබුණා.
මෙම නව යෝජනා මගින් චීනයට අදාළ ආයෝජන සීමාවන් වෙනස්කම් සහිත ලෙස පුළුල් කර ඇති බවත්, තහනම් කිරීම් තීව්ර කර ඇති බවත් බීජිං හි වාණිජ අමාත්යාංශය සඳහන් කරනවා.
එක්සත් ජනපදයේ මෙම ක්රියාමාර්ගයට දැඩි ලෙස විරෝධය පළ කරන චීනය, ඊට එරෙහිව නිශ්චිතව සඳහන් නොකළ ප්රතිපියවරයන් ගැනීමේ අයිතිය තමන් සතුව තබා ගන්නා බව ද අවධාරණය කරනවා.
එසේම, මෙම යෝජනා මගින් දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාවලට හානි සිදුවන අතර, පසුගිය මාස හය තුළ දෙවරක් හමුවූ දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති කරගත් සම්මුතියට ද මෙය පටහැනි වන බව චීන පාර්ශ්වය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කරන්නේ මෙම පියවරයන් චීනයට පමණක් සීමා නොවූ එකක් බවයි.
අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ද්විත්ව භාවිත උපායමාර්ගික තාක්ෂණයන් (Dual-use strategic technologies) විදේශීය තරඟකරුවන් විසින් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ප්රාග්ධනය යෙදවීම වැළැක්වීම මෙහි ප්රධාන අරමුණ බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.







Leave a Reply