වතු ජනතාව වෙනුවෙන් නිරන්නතරයෙන්ම පෙනී සිටින විටෙකදී ලාමුතෙල් දමා ගිනි තබාගන්නට තැත් කරන, ජනතාවට සේවය කරන බවට වහසි බස් දොඩනා වතුකරයේ ජනතාවගේ ගැලවුම්කාරයින් බවට පෙන්වන දේශපාලකයින් දෙදෙනෙක් තරගෙට මුල්ගල් තැබූ මාවතක් අද ජනතාවට ගමන් කිරීමටවත් නොහැකි වන අන්දමට පත්ව ඇති බැව් එම ගම්මානවල ජනතාව පෙන්වා දෙනවා.
එමෙන්ම තැබූ මුල්ගල් දෙක ගලවගෙන යන්න කියා අපි ඉල්ලනවා. මොකද ඒ මුල් ගල් දෙක නිසා අපිට පාරට පස් ටිකක් දාලාවත් හදන්න විදිහක් නැහැ. යනුවෙන්ද ජනතාව පවසනවා.
පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගැරඩිඇල්ල ග්‍රාමසේවා වසමේ පහල කොටස මාර්ගයට රුපියල් කෝටි 27ක ප්‍රතිපාදන වෙන්කරමින් මාර්ගය සංවර්ධනය කිරීම ඇරඹුවද වසර ගණනාවක් යනතෙක්ම එම මාර්ගය සංවර්ධනය වී නැහැ. දේශපාලකයින් විසින් විටින් විට මුල්ගල් තැබුවත් මාර්ගය සංවර්ධනය නොවුණු බව ජනතාව පවසනවා.
මහදෝව ගම්මානයේ මංසන්ධියේ සිට යපම්මවත්ත, අම්බලන්ගොඩවත්ත, මහදෝව පහළ කොටස යන ගම්මානවලට යාමට ඇති කිලෝ මීටර් හතරක පමණ දුරකින් යුත් මාර්ගය දේශපාලකයින් විසින් කිහිප වතාවක් මුල්ගල් තැබුවත් මාර්ගය මේ වනතෙක් සංවර්ධනය නොවුණු බව ගම්මුන් පවසනවා.
මාර්ග අපහසුතාවය හේතුවෙන් මහදෝව දෙමළ විද්‍යාලය මෙන්ම සිංහල විද්‍යාල වෙත පැමිණෙන දරුවන් මෙන්ම ගුරුවරුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා.
හාල් වලට රුපියල් 1800ක් දීලා මිලදී අරන් ත්‍රීවීල් එකේ හයර් එක 2000ක් දෙන්න වෙලා තියෙනවා. ජනාධිපතිතුමා වගේම අනෙක් බළධාරීන් අපේ ගම්මානය ගැන දන්නවාද දන්නේ නැහැ. ඉදිරියේදී නම් ඒ අයට ඡන්දයක් නම් දෙන්නේ නැහැ. යනුවෙන් ගම්වාසියෙක් අදහස් දැක්වීය.
තමන්ගේ මාර්ගය සකසන්නේ නැතුව ඉදිරියේදී ඡන්දයක් ඉල්ලගෙන ගමට එන්න එපා යැයි පවසන ජනතාව ඉල්ලා සිටින්නේ තම ගම්මානයට එන්නට තියෙන මාර්ගය කඩිනමින් සකසා දෙන ලෙසයි.
සටහන් – ජයලත් දිසානායක
Leave a Reply