ආනවිළුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රධාන වැවේ ජීවත් වූ මසුන් සහ විශාල ප්‍රමාණයේ පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවීම ගැටළු සහගත කරුණක් බව වයඹ හඩ පරිසර සංවිධානය සදහන් කරයි. මෙරට ඇති තෙත් බිම් 06 න් එකක් ලෙස ආනවිළුන්දාව රැම්සා අභය භූමිය සැළකේ. එය මෙරට ස්ථාපනය කර ඇති දෙවැනි රැම්සා අභය භූමිය වේ. 1971 වසරේදී ජාත්‍යන්තර රැම්සා ප්‍රඥප්තිය එළි දක්වා ඇති අතර,2001 අගෝස්තු මස 08 වැනිදා ආනවිළුන්දාව තෙත් බිම් “රැම්සා අභය භූමියක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
හෙක්ටයාර් 1397 ක් විශාල ආනවිළුන්දාව රැම්සා අභය භූමිය විශේෂ කරුණු කීපයක් නිසා වැදගත් වේ. මෙම අභය භූමිය තුළ එල්ලංග පද්ධිතයට අයත් වැව් 05 ක් පිහිටා ඇත. ආනවිළුන්දාව,පිංකට්ටිය,මරදන්සෝල,සුරුවිල සහ මයියාව එම වැව් පද්ධිතිය වේ.රතඹලාඔයෙන් පෝෂණය වන මෙම වැව් පද්ධිතිය වර්තමානය වන විට සංචාරක පක්ෂීන්ගේ රජ දහනක් වී ඇත. ඊට අමතරව අභය භූමියට බටහිරෙන් පිහිටි මුහුදු තීරයත්,හැමිලටන් ඇල දෙපස සරුවට වැවී ඇති කඩොලන ප්‍රජාවත් සංචාරක පක්ෂීන්ට හිතකර පරිසරයක් බවට පත් කර ඇත.මෙම හිතකර තත්ත්වය නිසා සෑම වසරකම ඔක්තොම්බර් මස සිට ඊළග වසරේ අප්‍රියල් මාසය දක්වා සංචාරක පක්ෂීන් වර්ග 150 කට වැඩි ප්‍රමාණයක් සැතපුම් ගනන් දුර ගෙවා ගෙන ආනවිළුන්දාව රැම්සා අභය භූමියට පැමිනෙති.ඒ ඔවුන්ගේ ප්‍රජනන කටයුතු සහ දරුවන් බිහි කිරීම සදහාය. cormorant, White ibis, Egret, Stalk, Pheasant tailed jacana සහ Purple wamp එසේ පැමිනෙන සංචාරක පක්ෂීන් බවට පරිසරවේදීන් විසින් හදුනා ගෙන ඇත.
මෙම පක්ෂීන් මාස 07 ක පමණ කාලයක් ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ජීවත් වන අතර,ඔවුන් තැන තැන විශාල කූඩු ඉදිකර ඇති බවක්ද දක්නට ඇත. අප්‍රියල් මස අවසන් වන විට තමන් පැමිණි කටයුතු අවසන් කරන සංචාරක පක්ෂීන් තම ගම් රටවල් බලා පියාසර කරන්නේ කිසිවෙකුටත් නොකියාය.
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ජීවත් වන්නේ සංචාරක පක්ෂීන් පමණක් නොව.උභය ජීවීන්,ක්ෂීරපායී සතුන්,උරගයින් මෙන්ම වදුරන් සහ රිලවුන්ද එහි ජීවත් වන බවක් දක්නට ඇත.ඒ අතරට රස්ටි පැල්ලම් සහිත බළලා, මාළු අල්ලන බළලා, ඉන්දියානු ඔටර්,සිහින් ලෝරිස්,ටෝක් වඳුරා සහ සමනලුන් විශේෂ 74 ක් ඇතුළත් වන බව පරිසරවේදීන් සදහන් කරයි.
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය පිළිබදව මෙවන් පූර්විකාවක් සටහන් කරන්නට සිදුවූයේ පසුගිය දිනවල සිදු වෙමින් පැවති “අති දැවැන්ත හානියක්” පිළිබදව සටහනක් කළ යුතු නිසාය.
ආනවිළුන්දාව වැවේ ජීවත් වෙමින් සිටි මසුන් විශාල ප්‍රමාණයක් පසුගිය දින වල මිය ගොස් ඇති බවට නිරීක්ෂණය විය.ආනවිළුන්දාව වැව යනු මෙම රැම්සා අභය භූමියේ පිහිටා ඇති ප්‍රධානතම වැව වේ.එමෙන්ම මෙම අභය භූමිය තුළ ඇති සෙසු වැව් පද්ධිතය පෝෂණය වන්නේද මෙකී ආනවිළුන්දාව වැවෙනි.මේ නිසා ආනවිළුන්දාව වැව තුළ කිසියම් හානි දායක කටයුත්තක් සිදුවී ඇත්නම් හෝ සිදු වන්නේ නම් එම තත්ත්වය සෙසු වැව් පද්ධිතයටද කිසිදු බාධකයකින් තොරව බලපෑම් අති කරන්නේය.
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ ඇති වැව් පද්ධිතය දෙපාර්ශවයක් විසින් පාලනය කරණු ලබයි.වැවේ සිටින මසුන් නීත්‍යාණුකූල ලෙස අයත් වන්නේ ජල ජීවී වගා සංවර්ධන අධිකාරියටය.නමුත් වන ජීවී දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ වැව පිහිටා ඇත්තේ අභය භූමියක් තුළ වන බැවින් එහි හිමිකාරීත්වය තමන් සතු බවය.
මෙම තත්ත්වය නිසා ආනවිළුන්දාව වැවේ මසුන් මිය යාමට හේතුව කුමක්ද යන්න සොයා ගැනීම ප්‍රදේශවාසීන්ට මෙන්ම මෙම ලියුම්කරුටද බරපතල ගැටළුවක් විය.
ගම්වාසීන්ගේ ඉල්ලීම මත පැමිණි ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිලධාරී තුසිත කුමාර මහතා විසින් වැවේ මසුන් මිය යාමට හේතුව නිරීක්ෂණය කරන්නට විය.අනතුරුව හෙතෙම මෙසේ කියා සිටියේය. “ආනවිළුන්දාව වැව අවුරුදු ගානකින් පිරිසිදු කරලා නෑ.ඒ නිසා වැවේ ජලජ ශාඛ විශාල වශයෙන් පැතිරිලා තියන බවක් පෙනෙන්න තියනවා. විශේෂයෙන්ම “ජපන් ජබර” සහ “ඇල්ගී” විශාල වශයෙන් වැව තුළ තිබෙන බවක්ද දකින්න තිබෙනවා.මිය ගොස් ඇත්තේ “තිලාපියා” කියන මත්ස්‍යයින් බවට හදුනා ගන්න පුළුවන්.මෙම මත්ස්‍යයින් ආහාර ලබා ගන්නේ “සපා කෑමෙන්”. වැවේ තිබෙන මිය ගොස් ඇති “අජීවී” ඇල්ගී වර්ග මෙම මත්ස්‍යයින් විසින් අනුභව කර ඇති බව අපට අනුමාන කරන්න පුළුවන්.අජීවී ඇල්ගී වර්ග මත්ස්‍යන්ගේ කුස තුළ ජීර්ණය නොවීම ඔවුන් මිය යාමට ප්‍රධානතම හේතුව බවට අපිට නිරීක්ෂණය කළ හැකියි.
මෙම තත්ත්වය පාලනය කිරීම සදහා කඩිනමින් කළ යුතු වන්නේ වැව පිරිසිදු කිරීමයි.එසේ නොවුන හොත් මෙම තත්ත්වය සෙසු වැව් පද්ධතියටද පැතිර යන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි වැව් පද්ධතිය තුළ ජීවත් වන පක්ෂීන්ටද මෙම තත්ත්වය අහිතරක ලෙස බලපාන්න පුළුවන්…….” හෙතෙම කියා සිටියේය.
ආනවිළුන්දාව වැවේ මත්ස්‍යයින් මිය ගොස් ගෙවී ගියේ දින කීපයකි.ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරියාගේ අනාවැකිය පඵල කරමින් එම පද්ධතියේ ජීවත් වෙමින් සිටි “පැස් තුඩුවා” නමින් බහුතරයක් දෙනා හදුන්වන විශාල ප්‍රමාණයේ පක්ෂීන්ද තැන තැන මිය ගොස් ඇති බවක් දක්නට ලැබුණි.
රැම්සා අභය භූමියේ ජීවත් වූ විශාල ප්‍රමාණයේ පක්ෂීන් මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන්ට හමු වුවත් මිය ගොස් ඇති කුඩා ප්‍රමාණයේ එකම පක්ෂියෙකුවත් සොයා ගැනීමට නොහැකි විය.
“ලොකු සත්තු මැරුණහම පේනවානේ.නමුත් කුඩා පක්ෂීන් මැරිලා හිටියට අපිට පේන්නේ නෑ නේ.බොහෝ විට කුඩා පක්ෂීන් අභය භුමිය ඇතුලේ මැරිලා ඇති.ඒත් අපිට නම් පේන්න හිටියේ නෑ.අනික ඉතිං අපි වැවේ මාළු අල්ලනවා මිසක අභය භූමියේ ඇවිදින්න යන්නේ නෑනේ…..” ආනවිළුන්දාව ගමේ වැසියෙකු කියා සිටියේය.
වැවේ මාත්ස්‍යයින් මිය යාමට හේතුව කුමක්ද කියා සොයා බලන්නට ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට අයිතියක් ඇත.නමුත් වැව තුළ සහ අභය භූමියේ ජීවත් වූ පක්ෂීන් මිය යාමට හේතුව සොයා බැලිය යුත්තේ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.ඒ අනුව අප මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස වන ජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂක කාර්යාලයෙන් ඉල්ලා සිටියෙමු.“හරි අපි ඒ ගැන හොයලා බලලා කියන්නම්….” යන්න පමණක් ඔවුන්ගේ පිළිතුර විය.නමුත් පක්ෂීන් මිය යාමට හේතුව නම් තවම අභිරහසකි.
නමුත් වයඹ හඩ පරිසර සංවිධානයේ කැදවුම්කරු අජිත් ගිහාන් මහතා කියා සිටිනේ වෙනස්ම කථාවකි.“ජල ජීවී වගා සංවර්ධන නිලධාරීන් කියන කතාවේ යම් සත්‍යතායවක් ඇති.ඒ නිලධාරීන් අවුරුදු ගනන් පර්යේෂණ කරලා අත්දැකීම් අනුව තමයි ඔය වාගේ නිගමනයකට එන්න ඇත්තේ.නමුත් මේ වන විට ආනවිළුන්දාව වැවේ ජලයේ පැහැය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියනවා. වැව අවුරුදු ගානක් පිරිසිදු කරලා නැති කම ඊට හේතුව වෙන්න ඇති කියලා තවත් කෙනෙකුට කියන්න පුළුවන්.
ඒත් අප විසින් කරන ලද නිරීක්ෂණයේදී පේන්න තියෙන්නේ වෙනමම කරුණක්.මේ ආනවිළුන්දාව රැම්සා අභය භූමියට ඉතාමත්ම ආසන්නයෙන් සෙවිලි තහඩු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෑතකදී ආරම්භ කලා. එම සෙවිලි තහඩු කර්මාන්ත ශාලාව මෙම ස්ථානයේ ආරම්භ කරනවාට අපි විරුද්ධ වුණා.මොකද එම කර්මාන්ත ශාලාව හේතුවෙන් කිසියම් පාරිසරික හානියක් වුනොත් එහි සෘජු බලපෑම ආනවිළුන්දාව රැම්සා අභය භූමියට ඇතුළු වන නිසා.
මේ වන විට අපිට දකින්න ලැබිලා තියනවා ඔය කියන කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය රාත්‍රී කාලයේ මුදා හරින බව.අප අනුමාන කරන්නේ එම අප ද්‍රව්‍ය කිසියම් ආකාරයකට ආනවින්දාව රැම්සා අභය භුමියේ ඇති වැව් වලට එකතු වෙන්න ඇති කියලා.එහෙම නැත්නම් මීට පෙරත් මේ වැව් වල මාළු මැරෙන්න එපායෑ.මොකද වැව අවුරුදු ගානකින් පිරිසිදු කරලා නැති නිසා ඔය කියන ඇල්ගී සහ ජපන් ජබර අපි දන්නා කියන කාලේ ඉදලා තියන දේවල් නිසා.”
ආනවිළුන්දාව වැව ඇතුළු වැව් පද්ධතිය වසර ගනනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව සත්‍යයකි.ආනවිළුන්දාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සදහා වන ජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නොලැබෙන බවකි. “මේ වැව් සියල්ලම අඩි ගානක් ගොඩ වෙලා තියෙන්නේ.මේ නිසා වැවට ලැබෙන ජලය නිසි පරිදි ගබඩා වෙන්නෙත් නෑ.වැවට ජලය ප්‍රමාණවත් තරම් ලැබෙන්නේ නැති නිසා කුඹුරු වගා කර ගන්නත් අමාරුයි.මේ තත්ත්වය නිසා අපි අවස්ථා ගනනාවකදී අවුරුදු ගානක් තිස්සේ කියනවා වැව් පද්ධතිය පිරිසිදු කරලා දෙන්න කියලා.නමුත් කෙරෙන්නේ නෑ.
සාමාන්‍ය ආකාරයට අවුරුද්දේ අප්‍රියල් මාසයේ ඉදලා ඔක්තොම්බර් වන තුරු මේ අභය භූමියට කුරුල්ලෝ එන්නේ නෑ.ඒ කාලයේදී වැව් පද්ධතිය ගැටළුවක් නැතිව පිරිසිදු කරන්න පුළුවන්.ඒත් නොකරන එක තමයි අපිට තියන ගැටළුව. මොකද වැව යටතේ අපි කුඹුරු වගා කළත්,වැවේ ඉන්නේ මාළු ටික ධීවරයෝ අල්ලා ගත්තත්, වන ජීවී දෙපාර්තමේන්තුව කියන්නේ වැව අයිති තමන්ටයි.ඒ නිසා කිසිම දෙයක් කරන්න එපා කියලයි.අපිට නොතේරෙන දේ තමයි ඇයි මේ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවයක් නැත්තේ කියන එක.”ඔහු කියා සිටියේය.
අභය භුමියක් තුළ ඇති සියල්ලේ හිමිකාරීත්වය වන ජීවී දෙපාර්තමේන්තුවට බව සත්‍යයකි.එම සත්‍ය යථාර්තයක් බවට පත් කරන්නට නම් තමන්ට අයත් ස්ථාන පෝෂණය සහ සංවර්ධනය කිරීමද වන ජීවී දෙපාර්තමේන්තුව විසින් කළ යුතුව ඇත.එසේ නොමැතිව “ඔක්කොම අයිති අපිටයි.අපෙන් අහන්නේ නැතිව කිසිම දෙයක් කරන්න එපා…”යැයි කියමින් පුරසාරම් දෙඩීමම නොවන්නේය.
මේ වන විට ආනවිළුන්දාව ප්‍රදේශයට වැසි ලැබෙන්නට පටන් ගෙන තිබීම නිසා තත්ත්වය යම් තරමක් පාලනය වී ඇති බවක් දක්නට ඇත.නමුත් නැවත නියං සමය පැමිණි විට පෙර කී බලපෑම ඇති වන්නට පුළුවන.මන්ද මෙම ප්‍රදේශයට නියගය ආරම්භ වන්නේද සංචාරක පක්ෂීන් පැමිනෙන්නේද අගෝස්තු මාසයෙන් පසුව වන බැවිනි.
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව මුහුදු වෙරළක් හිමි නොවන මෙරට ඇති මුළු දිස්ත්‍රික්ක ගණන කොපමණද?
Leave a Reply