දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ( IRoad ) යටතේ ආරම්භ කෙරුණු බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ වර්ෂ 2018 ජූලි මාසයේදීය. ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත මේ සඳහා ඇස්තමේන්තු ගතකොට තිබූ මුදල රුපියල් මිලියන 13.6 ක් විය. ව්‍යාපෘතියට අනුව මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු වසර දෙකක් තුළ නිමකිරීමට නියමිත වූ අතර මේ වන විට ව්‍යාපෘතිය ආරම්භ කොට වසර හයකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක්ම එහි ඉදිකිරීම් අවසන් නොවීමෙන් එම මාර්ගය භාවිතා කරන පිරිස් ගැටළු රැසකට මුහුනදී සිටී.
නාමල් සංජීව මහතා,
“අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ මේ පාර සංවර්ධනය කරන්න පටන් ගන්නකොට අපි හරි සතුටු වුණා. කොන්ත්‍රාත් සමාගම තමන්ගේ වාහන සේරම ගමේම සැකසූ ස්ථානයක තියාගෙන තමයි වැඩ ආරම්භ කලේ. ඒ නිසා අපිට අලුත් බලාපොරොත්තුවක් ආවා. ගමේ පාර හැදෙයි කියලා. ඒත් සිදුවුණේ වෙන දෙයක්. තරමක් අපහසුවෙන් හෝ යා හැකිව තිබුණු පාර කඩලා කාණු බෝක්කු සේරම කඩලා විනාස කර දැමීම විතරයි සිද්දවුණේ. කඩපුවා හදන්න කලින් වැඩ අඩාල වුණා. දැන් අපිට අලුත් පාරත් නෑ. තිබුණු පාරත් නෑ. නිලධාරීන් කියන්නේ සල්ලි නැතිලු. රටේ සල්ලි පිල්ලි ගැහුවේ අපි නෙවේ. එම නිසා මේවා ගැන සොයා බලලා අපේ පාර සකසා දෙන්න කියලයි ඉල්ලන්නේ “
බදුල්ල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සුරංග සම්පත් රාජපක්ෂ මහතා,
“මේ ප්රශ්නය නිසා ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වෙන්නේ ගමේ මහජන නියෝජිතයින් ලෙස සිටි අපියි. පාර හදන්න කියලා තිබුණු පාරත් කාණු බෝක්කු සේරමත් කඩා දැම්මා. දිය කඳුරු වහල දැම්මා. දැන් පාර කාණුවක් වෙලා. වැහිදාට පාර පුරා මඩ වළවල්. පායන කාලෙට අවට ගෙවල් දූවිල්ලෙන් වැහෙනවා. ලෙඩරෝග පැතිරෙනවා. මේ වන විට අදාළ ඉදිකිරීම් සමාගම් කියන්නේ ඉක්මණින්ම ආපහු වැඩ ආරම්භ කරනවා කියලයි. ඒත් පහුගිය කාලයේ තිබුණු තත්වය බැලුවාම පොරොන්දු වලින් පමණක් ජනතාව සෑහීමකට පත්වෙන්නේ නෑ. ඒ නිසා සැළසුම් කළ විදිහට ඉක්මණින් මේ පාර හදා දෙන්න කියලයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලන්නේ”
මෙම මාර්ගයේ මුල්ම කොන්ත්‍රාත් සමාගමේ ඇතිවූ ගැටලුවක් නිසා එම ආයතනය මාර්ගයේ වැඩ අතරමග නවතා දමා ඇති බවත්, ඉන් පසුව නැවත වරක් දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කරමින් වෙනත් සමාගමකට මාර්ගයේ ඉදිකිරීම් කිරීමට භාරදී ඇති බවත්, ඔවුන් එහි වැඩ කටයුතු කරගෙන යන විට ආසියානු සංවර්ධන බැංකු ණය ලබාදීම නවතා දැමීම හේතුවෙන් මෙම සංවර්ධන වැඩ අතරමග නතරවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් අවසානයේදී සිදුව ඇත්තේ ජනතාව කබලෙන් ලිපට වැටීමයි. යන්තමින් හෝ යන්න එන්න තිබුණු මාර්ගය තැනින් තැන කඩා දැමීමෙන් එම ස්ථාන මරු උගුල් බවට පත්ව ඇත. එම නිසා අඩුම කරමින් මාර්ගයේ අවධානම් ස්ථාන කිහිපය හෝ සකසා දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
සටහන – ජයලත් දිසානායක
Leave a Reply