Loading...

කෝච්චියකට ගොඩ වෙමු ද ? ; බලධාරීන්ට අමතක වුනු දුම්රිය වැසිකිලි පද්ධතිය

ලංකාවේ බහුතරයක් දෙනා තමන්ගේ ප්‍රවාහනය සදහා භාවිත කරන දුම්රිය සේවය සම්බන්ධයෙන් අපිට නිතර ප්‍රවෘත්ති විදිහට ඇසෙන  දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීම , ප්‍රමාද වීම්, පීලි පැනීම් , සේවක වර්ජන, වැටුම් ඉල්ලීම් අතරේම තවත් ඉතාම අප්‍රසන්න කතාවක් තමා දුම්රිය මැදිරිවල වැසිකිලි පද්ධතියේ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පිරිසිදු කිරීම් වල තියෙන ගැටළුකාරී බව ..

19 වෙනි සියවසේ මුල් භාගයේදී ඉදිකරපු පලවෙනි දුම්රියේ වැසිකිලි පහසුකම් නොමැති උනත් දුම්රිය ගමනාගමනය මිනිස්සු අතර වැඩි වැඩියෙන් ප්‍රචලිත වීමත් එක්කම 20 වන සියවසේ ආරම්භයේදී දුම්රිය යටිතල පහසුකම් වැඩි දියුණු වීමට පටන් ගැනිණ. 1864 දෙසැම්බර් 27 වනදා හා හා පුරා කියලා සුද්දා ඇවිත්  ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය මාර්ගය විවෘත කරලා මංගල දුම්රිය ගමන ගිහින් වසර 160 සපිරෙද්දීත් තාමත් අපි  පාවිච්චි කරන්නේ දුම්රිය මැදිරි වල වැසිකිලි අපද්‍රව්‍ය කෙලිම්ම රේල් පීලි වලට මුදා හරින විවෘත – විසර්ජන වැසිකිලි පද්ධතියකි.  තවත් සරලව කිව්වොත් දුම්රියේ මළපහ වැටෙන්නේ රේල් පාරට ය .

තමන්ගේ බදු මුදලින් නඩත්තු වන පොදු ප්‍රවාහනය තුල තමන්ට මෙවැනි අප්‍රසන්න අත්දැකීමක් ලැබීමට හේතුව දැන ගැනීමට ජනතාවට තිබෙන අයිතිය නිසාත්, මෙමගින් වක්‍රව හා සෘජුව සිදු වන ආර්ථික පාඩුව නිසා වගේම සිදු වෙන පාරිසරික හානියත් නිසා 

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව අපි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පහත තොරතුරු ඉල්ලා සිටියෙමු.

Ø  2023 වසරේදී භාවිතයේ තිබූ වැසිකිලි පහසුකම් සහිත දුම්රිය පෙට්ටි ගණන කොපමණද?

Ø  එම දුම්රිය පෙට්ටි නඩත්තුව සඳහා 2023 වසරේදී අයවැය මගින් වෙන් කර තිබූ මුදල සහ එම වසරේදී ඒ සඳහා යෙදවූ මුදල වෙන් වෙන්ව කවරේද?

Ø  2023 වසරේ එම නඩත්තු පිරිවැය තුළින් දුම්රිය පෙට්ටි තුළ වැසිකිලි නඩත්තු සහ පිරිසිදු කිරීම සඳහා වැය කර ඇති මුදල කවරේද?

Ø  2024 වසර සඳහා වන දෙපාර්තමේන්තු අයවැය තුළින් ඉහත කටයුතු සඳහා වෙන්කර ඇති මුදල කොපමණද?

මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ, දුම්රිය පෙට්ටි නඩත්තුව තුල වැසිකිලි නඩත්තු කටයුතුද සිදු කරන බැවින් ඒ සදහා වෙනම මුදල් වෙන් කිරීමක් සිදු නොකරන අතර 2023 වසරේ භාවිතයේ  තිබු වැසිකිලි පහසුකම් සහිත දුම්රිය පෙට්ටි සංඛ්‍යාව 1228 ක් වුවත්  ඒ  වෙනුවෙන්ම අයවැය මගින් 2023 සහ 2024 වර්ෂ වල මුදල් වෙන් කිරීමක් සිදු නොකර තිබූ  බවයි . 

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පිරිසිදු කිරීම් සහ සනීපාරක්ෂක සේවා සදහා 2024 වර්ෂය වෙනුවෙන්  රු. 23, 150, 000.00 මුදලක් වෙන් කර ඇත . එනයින් මේ වෙන් කරපු මුදල අනෙකුත් කටයුතු වලට හැර 1228ක් වන වැසිකිලි පිරිසිදු කිරීමට පමණක් අගය බැලුවොත් එක වැසිකිලියක් මාසෙකට එක වරක් පමණක් පිරිසිදු කිරීමට යන මුදල රු.1570.00 යි . ඉතින් මේ වැසිකිලි මේ තරම් ගද ගහන එක අහන්නත් දෙයක් වේවිද ?? 

නමුත් එයින් කියවෙන්නේ නැහැ දෙපාර්තමේන්තුවට මුදල් නොමැති බව . හේතුව 2023 වර්ෂය සදහා දුම්රිය ඇණියේ නඩත්තුවට වෙන් කර ඇති මුදල රු. 3,054,000,000.00 කි. මේ මුදලින් ගැල් , මැදිරි සහ එන්ජින් නඩත්තු කර ඇත. නමුත් ඒ සියල්ලටම වැය වී ඇති මුදල පෙට්ටි නඩත්තුවත් ඇතුලත්ව රු. 2,990,470,010.28 කි .

වැසිකිලි වෙනුවෙන් මුදල් වෙන් නොකලද ඉහත කටයුතු වෙනුවෙන් 2024 වර්ෂයට අදාලව දෙපාර්තමේන්තු අයවැය තුලින් වෙන් කරන ලද මුදල රු. 3,670,000,000.00 යි .

බදු ගෙවල තමන්ව නඩත්තු කරන ජනතාවට ලබා දෙන පොදු ප්‍රවාහනයේ  පිරිසිදු වැසිකිලි පහසුකමක් ලබා දීමේ තමන්ගේ අයවැය ලිස්ට් එකේවත් නැති රටක් මහා ලොකුවට සංචාරකයින්ට ආරාධනා කරනවා. සංචාරක කර්මාන්තය අත්දැකීම් ලබා ගැනීම මත දිව යන මොහොතක , මේ යන විදිහටම ගියොත් සංචාරකයෝ පැමිණේවි, නමුත් ඒ දුම්රිය පෙට්ටියක ගද ගහන වැසිකිළියක් සමග ගමනක අත්දැකීම විද ගන්න ….  

පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පොදු ප්‍රවහනයක් සහතික කිරීමට රජයන් වගේම සේවාව සපයන ආයතනත් ප්‍රමුඛතාවක් ලබා දී සනීපාරක්ෂක ප්‍රමිතීන් අනිවාර්ය කරන  නීති හා රෙගුලාසි පනවා තිබෙන්නේම පිරිසිදු වැසිකිලි පද්ධතියක් කියන්නෙම පහසුව පමණක්ම නොවේ.  එය රටක මහජන සෞඛ්යටත්, මානව ගරුත්වයටත්, සමනත්මතවයටත්, පාරිසරික ආරක්ෂාවටත් සමස්ත ජිවන තත්වයටම බලපාන පුරවැසියන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකමකි. නමුත් කණගාටුවට කරුණ නම් ලෝකේ රටවල් දිහාට බලන එක කෙසේ වෙතත් තමන්ගේ ගෙදර වැසිකිලියටවත් ශරීර කර්තව්‍යයෙන් පසු වතුර බාල්දියක් නොගසන මිනිස්සු අදාල ඉහල  තැන්  වල අසුන්ගෙන සිටීමයි .

සටහන – අභිෂේකා ප්‍රනාන්දු


Spread the news
Tags

One response to “කෝච්චියකට ගොඩ වෙමු ද ? ; බලධාරීන්ට අමතක වුනු දුම්රිය වැසිකිලි පද්ධතිය”

  1. Awanthi Munasinghe Avatar
    Awanthi Munasinghe

    ජීවිතේ විදින්න උන අප්‍රසන්නම අත්දැකීම් වලින් එකක් තමා දුම්රිය වැසිකිලි බාවිතය. කාලයක් හැම සති අන්තෙකම නුවර කොළඹ ගිය ගමන්වලදී පීලි පනිනවට වඩා බයයි වැසිකිලි යන්න වෙන එකට…🥺🥺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *