”සෑම අවුරුද්දකම ඔක්තොම්බර් ඉදලා ඊළග අවුරුද්දේ මාර්තු මාසය විතර වෙන තුරු විවිධ රටවල් වලින් කුරුල්ලෝ ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් මන්නාරමට ඇවිත් නතර වෙනවා.විශේෂයෙන්ම හමිං බර්ඩ් නමින් හදුන්වන ඉතාමත් කුඩා ඒත් බලන්න ලස්සන කුරුල්ලන් සහ සියක්කාරයා නමින් හදුන්වන පක්ෂියා ඒ අතරින් විශේෂයි.තවත් විවිධ වර්ගයේ කුරුල්ලෝ මේ කාලයේදී මන්නාරමට එනවා.ඒ මේ අවුරුද්දේ ඒ අය ආවේ නෑ.මට නම් හිතෙන්නේ මේ වෙන කොට මන්නාරමේ ඉදිකරලා තියන සුළං බලාගාර නිසා තමයි මේ කුරුල්ලෝ මන්නාරමට එන එක නැවතිලා තියෙන බවයි” මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති සන්තියාගෝ මාකස් පියතුමන් ගේ අදහස වී තිබෙන්නේ.
”විශාල ප්‍රමාණයේ සුළං බලාගාරයක් හදන්න රජය ඉන්දියාවේ අදානි සමාගමට අවසර දීලා තියනවා.මේ නිසා විශාල පාරිසරික හානියක් සිදු වෙන්න ඉඩ තිබෙනවා.මොකද මේ බලාගාරය වෙනුවෙන් නිකුත් කරලා තියන පරිසර අධ්‍යයන වාර්තාව පිළිගත හැකි එකක් නොවන නිසයි”.ඒ අතර තුර පරිසරවේදීන්ද කියා සිටින්නේය.
මේ කියන කථාව කුමක්ද කියා සොයා බලන්න පසුගිය දිනක මෙම ලියුම්කරු මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.මන්නාරමේ සිට ඉතාමත්ම දුෂ්කර ගමනකින් අනතුරුව සැතපුම් කීපයක් මග ගෙවා දැමීමෙන් පසුව නරිකුඩාව නම් ධීවර ගම්මානට සේන්දු වන්නට අපට හැකි විය.නරිකුඩාව ධීවර තොටුපල තුළ බෝට්ටු රැසක් ඒ වන විට ගාල් කර තිබූ අතර,වෙරළේ එක් ස්ථානයක ධීවරයින් පිරිසක් මා දැලක් අදිමින් සිටිනු දක්නට ලැබුණි.ඒ මා දැලට උතුරින් දකින්නට ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ස්ථාපනය කර ඇති “තබපවණී” සුළං බලාගාරයයි.සුළං කුළුණු 21 කින් යුත් එම බලාගාරය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණි.
ධීවරයින් විසින් අදිමින් තිබූ මා දැළ ගොඩට ආවේය.නමුත් එහි කිලෝ ග්‍රෑම් 100 ක් වත් මාළු නැත.“ඉස්සර වගේ නෙමෙයි මහත්තයෝ දැන්.මාළු අහුවෙන්නේ නෑ.අපිට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ….” මා දැළට සම්මාදම් වූ ධීවරයෙකු කියා සිටියේය.
“වෙන කාල වලට නම් හොදට මාළු අහුවෙනවා.ඒත් දැන් එන්න එන්නම අඩු වේගන යනවා.හෙට – අනිද්දා වෙන කොට අපිට මේ හරියේ රස්සාව කරන්න බැරිව යනවා.මොකද ලොකු හුළං මෝල් වගයක් වෙරළ දිගේ සවි කරන්න යනවා කියනවා නේ.එහෙම වුනහම ආරක්ෂාවට කියලා අපිට මේ පැත්තට එන්න දෙන්නේ නෑ.එතකොට අපිට රස්සාව කරන්න තැනක් නැතිව යනවා…”තවත් ධීවරයෙකු කියා සිටියේය.
මන්නාරමේ ධීවරයින්ගේ ඒ බිය සාධාරණය.මන්ද කල්පිටිය – නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරය ඉදිකරන විට බලධාරීන් ධීවරයින්ට ලබා දුන් සුන්දර පොරොන්දු වලට සිදුවූයේ කුමක්ද කියා වර්තමානයේ පැහැදිලිවම දක්නට ඇති නිසාය.
අදානි සමාගම විසින් කුළුණු 52 කින් යුත් සුළං බලාගාරය ඉදිකිරීම සදහා තෝරා ගෙන ඇති මන්නාරම,නරිකුඩාව – ඌරුමලෙයි ප්‍රදේශය කිලෝ මීටර් 32 ක පමණ දිගකින් යුත් පටු බිම් තීරුවකි.මෙම බිම් තීරුව තුළ ධීවර සහ කෘෂිකර්මාන්තය ජීවෝනෝපාය කර ගෙන 75,000 කට අධික පිරිසක් ජීවත් වන බවද කියති.
“විදුලි බල මණ්ඩලය විසින් මුලින්ම නරිකුඩාව මුහුදු තීරයේ සුළං බලාගාරයක් හැදුවා.එතන තියෙන්නේ කුළුණු 21 යි.ඊට පස්සේ තමයි අදානි සමාගම සුළං කුළුණු 52 ක් හදන්න සුදානම් වෙන්නේ…..” මේ සංචාරයේදී අපට හමුවූ මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති සන්තියාගෝ මාකස් පියතුමන් කියා සිටියේය.
“රජය විසින් ඉදිකරලා මේ වන විට ක්‍රියාත්මක වන සුළං බලාගාරය නිසා ජනතාවට සිදුවී තිබෙන හානිය අපි පෙන්වා දී තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි මානව හිමිකම් කොමිසමටත් පැමිණිළි කර තිබෙනවා.කුළුණු 21 ක ව්‍යාපෘතියකින් සිදුවී තිබෙන සහ සිදු වෙමින් පවතින හානිය දිහා බැළුවහම ඉදිරියේදී සිදු වන දේ අපිට හිතා ගන්න පුළුවන්.ඌරුමලෙයි ප්‍රදේශ වල ජීවත් වූ ජනතාවගේ ඉඩම් රජය විසින් මේ වන විට අවභාවිතා කරමින් සිටිනවා.ඒ ඉඩම් වලින් ජනතාව එළවා දැමීමට රජය විසින් ගෙන යන වැඩ පිළිවෙල නිසා සියුම් වේදනාවක් ඇති වෙලා තියෙන්නේ.මෙම ව්‍යාපෘතිය නිසා අපේ ජනතාවගේ ඉඩම්,අධ්‍යාපනය,පානීය ජල පහසුකම් මෙන්ම සෞඛ්‍ය පැත්තටත් ලොකු තර්ජනයක් එල්ල වීම පාලනය කරන්න කිසිම කෙනෙකුට බැරිව යනවා.
පළමු සුළං බලාගාරය හැදුවට පස්සේ ජනතාවට එල්ල වෙලා තියන පීඩාවන් ගැන හිතලා තවත් අදියරක් මේ පැත්තට ගේන්න එපා කියලා අපි රජයට කිව්වා.ඒත් ඒ සම්බන්ධයෙන් කිසිදු ඇහුම්කන් දීමක් නොමැතිව තමයි රජය අදානි සමාගමත් සමග එකතු වෙලා මේ දෙවැනි අදියර කියලා විශාල ප්‍රමාණයේ සුළං බලාගාරයක් හදන්න අවශ්‍ය කටයුතු කරමින් සිටින්නේ…..” සන්තියාගෝ මාකස් පියතුමන් ඉතාමත්ම සංවේදීව කියා සිටියා.
සෑම වසරකම ඔක්තොම්බර් මාසයේ සිට එළඹෙන වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ සංචාරක පක්ෂීන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණීම සිදුවේ. පරිසරවේදීන්ට අනුව රටවල් 30 කින් පමණ විවිධ වර්ගයේ පක්ෂීන් මිලියන 15 ක් පමණ මේ කාලයේදී ස්ථාන 08 කින් අප රටට ඇතුළු වේ.එසේ සංචාරක පක්ෂීන් මෙරටට ඇතුළු වන එක් කවුළුවක් වන්නේ මන්නාරමය.මන්නාරම ප්‍රදේශයේ ඇති පරිසරය,දේශගුණික තත්ත්වය මෙම සංචාරක පක්ෂීන්ට සුවදායකය.එසේ පැමිනෙන කුරුල්ලන් නවාතැන් ගන්නා ස්ථාන රක්ෂිත ප්‍රදේශ බවට නම් කරන්නටද මෙරට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.එමෙන්ම සංචාරකයින්ට කුරුල්ලන් නැරඹීම සදහා විශේෂිත ස්ථාන මන්නාරමේ ස්ථාපනය කරන්නටද වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
විශේෂයෙන්ම මන්නාරම කලපුව ආසන්නයේ “හමිං බර්ඩ්ස්” සහ “සියක්කාරයා” වැනි පක්ෂීන් දකින්නට සිටියත් අද එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.වෙනත් කාල වලදී මන්නාරම කලපුව තම රජදහන කරගෙන සිටින සිය දහස් ගනන් වූ හමිං බර්ඩ්ස් කුරුල්ලන්ට වෙච්ච දෙයක් නැත.එක් තැනකදී පමණක් සියක්කාරයෙක් දක්නට ලැබුනේ මෙම ලියුම්කරුවේ වාසනාවකට වන්නට ඇති.
“මේ තත්ත්වයට ප්‍රධානතම හේතුව සුළං බලාගාර ඉදිකිරීමයි.කුරුල්ලෝ අපේ රටට ඇතුළු වන දොරටුවේ තමයි දැන් සුළං බලාගාර ඉදිකරලා තියෙන්නේ.ඊට එහා පැත්තේ තමයි අළුතින් දැවැන්ත සුළං බලාගාරයක් ඉදිකරන්න රජය සුදානම් වෙන්නේ…..” මන්නාරමේදී අපට හමුවූ රොජර් මහතා කියා සිටියේය.
“සුළං බලාගාර ඉදිකරන්න පෙර පරිසර අධ්‍යයන වාර්තාවක් විද්වතුන් විසින් සකස් කරලා තිබෙනවා.එම පරිසර වාර්තාවට අනුව නම් මෙම සුළං බලාගාර ඉදිකිරීම තුළින් කිසිදු හානියක් සිදු වන්නේම නෑ නේද?”. මෙම ලියුම්කරු ප්‍රශ්ණයක් යොමු කළේය.
ඊට පිළිතුරු දුන් සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම පරිසරවේදියෙකුද වන රොජර් මහතා මෙසේද කියා සිටියේය.
“ඔය කියන පරිසර වාර්තාව හැදුවේ කව්ද කියන එක තමයි අපිට තියන ලොකුම ගැටළුව. මොකද කුරුල්ලෝ අපේ රටට එන්නේ නැති කාලයක මන්නාරමට ඇවිත් පර්යේෂණ කරලා වැඩක් නැහැනේ.මොකද එයාලා ඇවිත් තියන කාලේදි දකින්න ඉන්න ඇත්තේ කොක්කු සහ කාක්කන් පමණයි.ඒ නිසා එම පර්යේෂකයින් කියනවා මේ බලාගාරය හැදුවට අපේ රටට ඇතුළු වන කිසිම පක්ෂියෙකුට බලපෑමක් වෙන්නේ නෑ කියලා.සාමාන්‍යයෙන් අවුරුද්දේ ඔක්තොම්බර් සට මාර්තු දක්වා කාලයේදී තමයි මන්නාරමට කුරුල්ලෝ දහස් ගානක් එන්නේ.ඒ කුරුල්ලෝ බලන්න දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මන්නාරමට එනවා.අද කිසිම සංචාරකයෙක් මන්නාරමට එන්නේ නෑ.මොකද කාක්කෝ බලන්න ඒ අය මන්නාරමට එන්න ඕනේ නැහැනේ.
වෙනත් කාල වලදී මන්නාරම කලපුව පුරාම ඉන්න කිසිම කුරුල්ලෙක් අද ඉන්නවාද කියලා බලන්න.එකම කුරුල්ලෙක්වත් නෑ.
අනිත් කාරණය කුරුල්ලෝ එන වෙලාවට මේ සුළං බලාගාර ස්වයංක්‍රීව ක්‍රියා විරහිත වෙනවාළු.මොන විහිළු කථාවක්ද මේ.අපේ ගෙවල් වල තියන විදුලි පංකාවක් වුනත් එක වර නවත්වන්න බැරි නම්, මේ තරම් විශාල සුළං බලාගාරයක් කොහොමද නවත්වන්නේ.පරිසර වාර්තවේ තවත් තැනක තියනවා සුළං බලාගාර අතරින් කුරුල්ලන්ට අපේ රටට ඇතුළු වෙන්න කොරිඩෝර් එකක් වෙන් කරනවා කියලා.ඒ වැඩේ කරන්නේ කොහොමද කියන එක අපිට නම් පුදුමයක්.අනිත් කාරණය තමයි මේ සුළං බලාගාර වලින් නිකුත් වන ශබ්දය.මේ ශබ්දය නිසා ඉදිරියේදී විශාල හානි සිද්ධ වෙන්න පුළුවන්.කුරුල්ලක් අපේ රටට ඇතුළු වීම වළකිනවා වගේම ශබ්ද දුෂණය තුළින් ප්‍රදේශයේ පදිංචි ජනතාවටත් හානියක් වෙන්න පුළුවන්.” ඒ රොජර් මහතාගේ අදහසයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතාට අනුව “ඔක්තොම්බර් මාසයෙන් පස්සේ අපේ රටට පැමිනෙන මිලියනයක් පමණ වන කුරුල්ලන් මන්නාරමේ නවාතැම් ගන්නවා. මේ සංචාරක කුරුල්ලන් දහස් ගානක් පියාඹන්නේ රාත්‍රී කාලයේ.ඇතැම් රංචු වල කුරුල්ලක් ලක්ෂ 2 ½ ත් ලක්ෂ 04 ත් අතර ප්‍රමාණයක් ඉන්නවා.සුළං බලාගාර වෙනුවෙන් පරිසර අධ්‍යයන වාර්තාව හදලා තියෙන්නේ දවල් කාලයේ ඒ පැත්තේ සංචාරය කරලා.රාත්‍රී කාලයේ පැමිනෙන කුරුල්ලන් ගැන දවල් කාලයේ පර්යේෂණ කරන්න බැහැ.සංක්‍රමණික කුරුල්ලන් නැති කාලයක සිදු කරන ලද අධ්යයකින් අනතුරුව නිකුත් කර තිබෙන මෙම පරිසර ඇගයීම් වාර්තාව තාක්ෂණික දෝෂ රැසක් සහිතයි කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි.”
සුළං බලාගාර ඉදිකිරීම තුළින් ඉදිරි වැසි කාලයේදී තමන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව අපට හමුවූ අයෙකු කියා සිටියේය.“මට මතක හැටියට මන්නාරමට ගංවතුර තර්ජනයක් ආවේ 1969 අවුරුද්දේ.ඊට පස්සේ 2000 අවුරුද්දේ පුංචි බලපෑමක් ඇති වුණා.නමුත් පසුගිය වැසි කාලයේදී මේ පැත්තම ජලයෙන් යටවෙලා ගියා.ඒකට හේතුව තමයි වැසි ජලය මුහුදට ගලා ගෙන යන මාර්ග අවහිර කරලා තමයි පළමු වන සුළං බලාගාරය ඉදිකරලා තියෙන්නේ. සාමාන්‍ය ආකාරයට එක සුළං කුළුණක් හදන්න ඉඩම් අක්කර 6 ½ ක් 07 ක් විතර ඕනේ.ඒ ඉඩමේ දැවැන්ත බාධක සවි කරනවා.ඒ වාගේම ඉදිකිරීම් කරනවා.එතකොට කොහොමද ජලය ගලා ගෙන යන්නේ.පසුගිය වැස්සෙන් අපේ ගොවිතැන් බොහෝමයක් යට වුණා.ඒත් බලන්න ආපු කෙනෙක් නෑ.දුන්න දේකුත් නෑ.පොඩි බලාගාරයක් හදලා මේ විධියට හානි වෙනවා නම් ලොකු බලාගාරයක් හදපුවහම මොනවා වෙයිද?…..” හෙතෙම කියා ගෙන ගියේය.
සුළං බලාගාරය ඉදිකරන්නට විශාල ශ්‍රමික පිරිසක් අවශ්‍ය වනවා ඇත.මේ සදහා බොහෝ විට ඉන්දීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට අදානි කටයුතු කළහොත් පුදුම වන්නට දෙයක් එතන නැත.මන්ද මෙරට ශ්‍රමික කුලියට වඩා අඩු ශ්‍රමික කුලියකට ඉන්දීය කම්කරුවන් ලබා ගත හැකි නිසාය.එපමණක්ද නොව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරමින් සිටි ඉංජිනේරුවන් 159 දෙනෙකු ගෙවී ගිය වසර 02 ක කාලය තුළ විදේශ ගත වී ඇති බවක් පසුගිය දිනක අසන්නට ලැබුණි.එමෙන්ම තවත් ඉංජිනේරුවන් 105 දෙනෙකු සේවයෙන් ඉවත් වී සහ තවත් ඉංජිනේරුවන් 54 දෙනෙකු නිවාඩු ලබා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කරයි.එසේ නම් මන්නාරමේ ඉදි කෙරෙන සුළං බලාගාරය සදහා විදුලි ඉංජිනේරුවන් ආනයනය කරන්නට සිදුවුවහොත් එයද පුදුමයට කරුණක් නොවණු ඇත.
අදානි සහ ඔහුගේ කණ්ඩායම මන්නාරම් සුළං බලාගාරයක් ඉදිකිරීමෙන් පමණක් නොනවතින බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.මන්නාරම – පේසාලේ ප්‍රදේශය තුළ භූගත ඛනිජ ද්‍රව්‍ය තිබෙන බව (විශේෂයෙන්ම තෙල් සහ ගෑස්) අතීතයේ සිට කියවෙන කරුණකි.එක්තරා පසුගිය මැතිවරණ සමයකදීද මන්නරමෙන් තෙල් හමුවූ බවට ප්‍රකට දේශපාලකයෙකු කරන ලද ප්‍රකාශය අපට අමතක කළ නොහැක.එසේ නම් අනාගතයේ දවසක ඉන්දීය මුහුදු සීමාවේ අදානි විසින් ඉදිකරන පාවෙන කර්මාන්ත ශාලාවකින් මෙරට භූමිය අභ්‍යන්තරයේ තිබෙන ඛණිජ ද්‍රව්‍ය තමන් සතු කර ගතහොත් එදාටත් අපිට කරන්නට දෙයක් ඇත්තේම නැත.මන්ද ඒ වන විට මන්නාරමේ හොදම කොටස අදානිට පවරා අවසන් වී තිබෙන නිසාය.
සටහන – ජූඩ් සමන්ත
Leave a Reply