මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ආර්ථික ස්ථාවරත්වය පදනම් කරගනිමින්, නව ආර්ථික පරිවර්තනයක් සහ ජනතාවට සාධාරණ සහන සැලසීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කර ඇති මෙම අයවැය යෝජනා අතරට පුද්ගල ආදායම් බදු සහන, රාජ්‍ය සේවක දීමනා වැඩි කිරීම, විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාවක් හඳුන්වා දීම සහ ප්‍රාග්ධන සංවර්ධන ව්‍යාපෘති සඳහා දැවැන්ත ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළත් වනවා.
පුද්ගල ආදායම් බදු සීමාවන් ඉහළට සහ බදු සහන
පුද්ගල ආදායම් බදු ගෙවන්නන්ට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කෙරිණි.
මසකට රු. 100,000ක් වූ බදු නිදහස් සීමාව මීට පෙර රු. මිලියන 1.8ක් (රු. 150,000ක්) දක්වා වැඩි කර තිබූ අතර, යෝජිත නව සංශෝධන මඟින් එය රු. 162,500ක් දක්වා තවදුරටත් ඉහළ නංවා ඇත.
ඒ අනුව, රු. 162,500ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන කිසිදු අයෙකු බදු ගෙවිය යුතු නැත.
6% බදු අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අදාළ කරමින් 6%, 12%, 18%, 24%, 30% හා 36% ලෙස බදු අනුපාත සකස් කර තිබේ. උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නංවා ඇත.
රාජ්‍ය සේවකයන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දීමනා වැඩිවේ
විවිධ ක්ෂේත්රවල රාජ්‍ය සේවකයන්ගේ සහ ආයතනවල සේවයේ නියුතු නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට මෙහිදී පියවර ගෙන තිබේ:
අධිකරණ සේවය: මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ සහ සෙසු ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන්ගේ මාසික වෘත්තීය දීමනාව රු. 25,000කින් ඉහළ නංවන අතර (50% බැගින් 2027 ජූලි සහ 2028 දී), නිවාස දීමනාව 100%කින් වැඩි කෙරේ. නිල වාහන හිමිකම් ලත් නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රු. 50,000කින් සහ රියදුරු දීමනාව රු. 50,000ක් දක්වා වැඩි වේ.
ක්ෂේත්‍ර නිලධාරීන්: ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ ගමන් වියදම් සහ කාර්යාල කුලී දීමනා 2027 අප්‍රේල් මස සිට සංශෝධනය කෙරේ.
ආරක්ෂක අංශ: බන්ධනාගාර නිලධාරීන්ගේ අවදානම් දීමනාව රු. 16,000 දක්වා 100%කින් වැඩි කරන අතර, සිවිල් නිලධාරීන්ගේ දීමනාව රු. 10,000 දක්වා ඉහළ දමයි. පොලිස් නිලධාරීන්ගේ මාසික ආහාර හා නවාතැන් දීමනාව රු. 10,000කින් සහ ත්‍රිවිධ හමුදා දෛනික ආහාර දීමනාව ද 2027 ජූලි මස සිට ඉහළ නැංවේ.
සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු. 95,000 දක්වා රු. 25,000කින් වැඩි කෙරෙන අතර, හෙද ඇතුළු අතුරු වෛද්‍ය සේවාවන්ගේ සහ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලවල දීමනා ද ඉහළ නංවා ඇත. බාහිර කථිකාචාර්යවරුන්ගේ පැයක ගෙවීම රු. 4,500ක් දක්වා තුන්ගුණයකින් වැඩි කර තිබේ.
විශ්‍රාමිකයන් සඳහා නව අතුරු දීමනාවක්
2025 නව මූලික වැටුප් ව්‍යුහය හේතුවෙන් විශ්‍රාම වැටුප් අතර ඇති වූ පරතරය අවම කිරීම සඳහා, 2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට 2027 ජූලි 01 දින සිට මාසිකව රු. 2,500ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා කර ඇත. 2025 නව වැටුප් ව්‍යුහයට අනුව අදාළ විශ්‍රාම වැටුප් සංශෝධනය 2028 අයවැයෙන් ආරම්භ කර අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අත්‍යවශ්‍ය භාණ්ඩ හා බදු සහන
පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අභ්‍යාස පොත් ඇතුළු මුද්‍රිත පොත්පත් එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමට යෝජනා කර ඇත.
තෝරාගත් HS කේත 800කට අදාළ සෙස් (CESS) බදු අනුපාත 25%කින් අඩු කරන අතර, පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා පවතින 10%ක වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL) 2027 ජනවාරි 01 සිට ඉවත් කෙේ. ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රු. 10කින් වැඩි කිරීමට ද යෝජනා කර ඇත.
ප්‍රවාහන, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා දැවැන්ත ප්‍රතිපාදන
ප්‍රවාහනය: දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණයට සහ ප්‍රවාහන ජාලය වෙනුවෙන් රුපියල් මිලියන 95,000ක් වෙන් කර ඇති අතර, නව දුම්රිය 5ක් මිලදී ගැනීමට රු. මිලියන 5,000ක් ද, කැලණිවැලි, ප්‍රධාන සහ වෙරළබඩ දුම්රිය මාර්ග විද්‍යුත්කරණයට රුපියල් මිලියන 80,000ක් ද වෙන් කර ඇත. කොළඹ මෙට්‍රෝ බස් සේවය මහනුවර, ගාල්ල සහ යාපනයට පුළුල් කෙරේ.
මහ නගර හා ගංවතුර පාලන: කොළඹ සහ තදාසන්න නගරවල මෙන්ම වත්තල, කැළණිය, බියගම, පිළියන්දල, කැස්බෑව සහ රත්නපුර ඇතුළු ප්‍රදේශවල ගංවතුර පාලන ව්‍යාපෘති වෙනුවෙන් රු. මිලියන 3,200ක් සහ වැසි ජල කළමනාකරණයට රු. මිලියන 7,700ක් වෙන් කර තිබේ.
අධ්‍යාපන හා ක්‍රීඩා: පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 35,000ක් වෙන් කර ඇති අතර, ගුරු පුහුණු සිසුන්ගේ දීමනාව රු. 20,000 දක්වා වැඩි කර ඇත. ඔලිම්පික් රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100ක මුදල් තිළිණයක් ලබාදීමට ද යෝජනා කර තිබේ.
මෙම අයවැය හරහා 2027 වසරේ රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ 4% ඉක්මවූ මට්ටමක පවත්වා ගනිමින් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරයි.
2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා මඟින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශේෂ දීමනා ලබා දීමටත්, අධිකරණ ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබේ.
එමෙන්ම බන්ධනාගාර තදබදයට පිළියම් ලෙස කොළඹ සහ ගාල්ල බන්ධනාගාර වෙනත් ප්‍රදේශවලට ප්‍රතිස්ථාපනය කිරීමටත්, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 70,000ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.
නීති කෙටුම්පත් සම්පාදක සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට විශේෂ දීමනා
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව: නීති කෙටුම්පත් සම්පාදක, අතිරේක නීති කෙටුම්පත් සම්පාදක සහ නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක තනතුරුවල නිලධාරීන්ගේ විශේෂ දීමනාව රු. 25,000කින් ද, ජ්‍යෙෂ්ඨ සහකාර සහ සහකාර නීති කෙටුම්පත් සම්පාදක නිලධාරීන්ගේ දීමනාව රු. 20,000කින් ද ඉහළ නංවයි. (වැඩිවීමෙන් 50ක් 2027 ජූලි මස සිට ද, ඉතිරි 50% 2028 දී ද ගෙවනු ලැබේ). හිමිකම් ලත් නිලධාරීන්ගේ මාසික රියදුරු දීමනාව 2027 ජූලි සිට රු. 50,000 දක්වා වැඩි කෙරේ.
නීතිපති දෙපාර්තමේන්තුව: නීතිපති, සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ තනතුරුවල වෘත්තියක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000කින් ද, ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ සහ රජයේ අධි නීතිඥ තනතුරු සඳහා රු. 20,000කින් ද ඉහළ නංවා ඇත. නිල වාහන හිමිකම් ලත් නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රු. 50,000කින්, රියදුරු දීමනාව රු. 50,000 දක්වා සහ නිවාස දීමනාව 100%කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
අධිකරණ සහ බන්ධනාගාර ක්ෂේත්රයේ නව සංවර්ධන
අධිකරණ යටිතල පහසුකම්: යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කළුතර, මහනුවර සහ කොළඹ අධිකරණවල පහසුකම් පුළුල් කිරීමට රු. මිලියන 5,115ක් වෙන් කර ඇති අතර, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට රු. මිලියන 60ක් ද වෙන් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ක්‍රියාත්මක කළ ඊ-ගොනුකිරීමේ සහ මාර්ගගත ගෙවීම් (e-CMS) පද්ධතිය අනෙකුත් අධිකරණ වෙත ද පුළුල් කෙරේ.
බන්ධනාගාර ප්‍රතිස්ථාපනය: ධාරිතාව මෙන් දෙගුණයක් (36,500ක්) රැඳවියන් සිටින වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සංකීර්ණය වෙනත් ප්‍රදේශයක පිහිටුවීම ඇරඹීමට රු. මිලියන 300ක් වෙන් කර ඇති අතර, ගාලු බන්ධනාගාරය බූස්ස ප්‍රදේශයට මාරු කිරීමටත් යෝජනා කර ඇත.
ආරක්ෂක අංශ සහ රණවිරු සුබසාධනය
2009ට පෙර හමුදාවට බැඳුණු රණවිරුවන්ගේ මවට සහ පියාට දැනට ගෙවන රු. 750ක මාසික දීමනාව ඉහළ නැංවීමට 2027 ජූලි සිට ක්‍රියාත්මක වන පරිදි වැඩපිළිවෙළක් සකසන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට යෝජනා කර ඇත.
ත්‍රිවිධ හමුදා ඉංජිනේරුවන් සහ වෘත්තිකයන් අනුයුක්ත කරමින් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සඳහා උපදේශන සේවා ආයතනයක් පිහිටුවීමටත්, ආරක්ෂක සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයක් සඳහා රු. මිලියන 250ක් වෙන් කිරීමටත් පියවර ගෙන තිබේ.
නිවාස සංවර්ධන වැඩසටහන්
අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුවට විසඳුමක් ලෙස “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන යටතේ 2027 වසරේ නව නිවාස 10,000ක් ඉදිකිරීමට නියමිත අතර, එක් නිවසක් සඳහා ලබාදෙන ආධාර මුදල රු. ලක්ෂ 10 සිට 15 දක්වා වැඩි කර ඇත.
උතුරු-නැගෙනහිර අවතැන් වූ පවුල් 13,000ක් වසර 2ක් තුළ නැවත පදිංචි කිරීමේ ඉලක්කය යටතේ වැඩකටයුතු සිදු කෙරෙන අතර, වතු ප්‍රජාවගේ නිවාස 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන ද වේගවත් කෙරේ.
කොමිෂන් සභා සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්ගේ දීමනා
ස්වාධීන කොමිෂන් සභා සහ අනෙකුත් කොමිෂන් සභා සභාපතිවරුන්ගේ, සාමාජිකයන්ගේ මෙන්ම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල සභාපති සහ විධායක අධ්‍යක්ෂවරුන්ගේ මාසික දීමනා 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.







Leave a Reply