Loading...

ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් රැගත් නෞකාව දිවයිනට

ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3,000කට අධික තොගයක් රැගත් ‘GAS GOODWILL’ නෞකාව ඊයේ (12) මෙරටට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී (LAUGFS Gas PLC) සමාගම නිවේදනය කරනවා.

පසුගිය කාලයේ පැවති සැපයුම් බාධාවන්ගෙන් අනතුරුව, මෙම නව තොගයත් සමඟ ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර සැපයීම අදියරෙන් අදියර යළි ආරම්භ කිරීමට සමාගම පියවර ගෙන තිබෙනවා.

නෞකාවෙන් ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව සිලින්ඩර පුරවා බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර, ඒ හරහා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලාෆ්ස් ගෑස් ලබාගැනීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව එම සමාගම සඳහන් කරනවා.

පසුගිය කාලයේ ගෑස් ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණදුන් අපහසුතා පිළිබඳව කනගාටුව පළ කරන සමාගමේ කළමනාකාරිත්වය, අලෙවිසැල් වෙත යාමට පෙර ළඟම ඇති බලයලත් අලෙවි නියෝජිතයා අමතා හෝ 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම ප්‍රදේශයේ ගෑස් තොග පවතින බව තහවුරු කරගන්නා ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *