පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත 2025 ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දියාව ක්‍රීඩා කරන තරඟ පැවත්වෙන රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi හා එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Sheikh Nahyan Al Mubarak අතර එරට දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹි ඇති බව සඳහන්.
තරඟාවලිය යටතේ පැවැත්වෙන ඉන්දීය තරඟ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ද මින් පෙර පාකිස්ථානයේ අවධානය යොමුව තිබූ නමුත් ඔවුන් එම තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට අවසන් තීරණයකට පැමිණ තිබෙනවා.
මේ අනුව බොහෝ දෙනෙක් අවධානය දිනාගත් මුලික වටයේ ඉන්දු පාකිස්ථාන තරඟය පෙබරවාරි 23 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත බවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කළා.
කෙසේ වෙතත් තරඟාවලියේ තරඟ කාලසටහන මේ දක්වා ICC විසින් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරඟය පෙබරවාරි 20 වනදා ද ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟය මාර්තු දෙවන වනදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟාවලියේ සත්කාරක රට මෙන්ම වත්මන් ශූරයින් වන පාකිස්ථාන සිය පළමු තරඟය පෙබරවාරි 19 වනදා කරච්චි හිදී පැවැත්වීමට නියමිතයි.
පාකිස්ථානය ක්‍රීඩා කරන මුලික වටයේ අවසන් තරඟය පෙබරවාරි 27 වනදා රාවල්පින්ඩිහීදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
වර්ථමාන එක්දින ලෝක ශූරයින් B කාණ්ඩය යටතේ තරඟාවලියට ක්‍රීඩා කරන අතර එම කාණ්ඩයට ඇෆ්ඝනිස්තාන, එංගලන්තය හා දකුණු අප්‍රිකාව ද ඇතුළත් වනවා.
අවසන් පුර්ව වටයේ තරඟ මාර්තු 4 වනදා හා 5 වනදා පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරඟය මාර්තු 9 වනදා යොදවා තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දියාව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් පළමු පුර්ව තරඟයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රීඩා කරන අතර අදාළ තරඟයට අතිරේක දිනයක් වෙන්කර නැහැ.
කෙසේ නමුත් දෙවන අවසන් පුර්ව තරඟයට හා අවසන් තරඟයට අතිරේක දිනයක් වෙන්කර තිබෙනවා.
මේ වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා මේ අයුරින් ඉන්දියාව ක්‍රීඩා කළ අවසන් පුර්ව තරඟය සඳහා අතිරේක දිනයක් වෙන්කර තිබුණේ නැහැ.
මේ අතර ඉන්දියාව අවසන් පුර්ව වටයට සුදුසුකම් නොලැබුවහොත් පළමු අවසන් පුර්ව තරඟය ද පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අවසන් තරගය ලාහෝර්හීදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.








Leave a Reply