සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ල වන PIF Tower ඉලක්ක කර හූති කැරලිකරුවන් විසින් අද (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එරට රාජ්‍ය ස්වෛරී ආයෝජන අරමුදලේ මූලස්ථානය ද පිහිටා ඇති මෙම ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් මහල් 8ක පමණ වීදුරු බිඳී ගොස් ඇති අතර එහි බාහිර ලෝහමය රාමුවට ද දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රියාද්හි කින්ග් අබ්දුල්ලා මූල්‍ය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ස්ථානයක් ඉලක්ක කරගනිමින් හූති කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ දෙවන අවස්ථාව මෙය වන අතර, මීට සති දෙකකට පෙර ද රාජ්‍ය තෙල් සමාගමක් වන ‘Aramco’ හි ගොඩනැගිල්ලකට මෙවැනිම ප්‍රහාරයක් එල්ල වුණා.
ප්‍රහාරයත් සමඟ කින්ග් අබ්දුල්ලා මූල්‍ය දිස්ත්‍රික්කයට ඇතුළු වන සියලුම මාර්ග වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර ගොඩනැගිලි තුළ සිටි පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයට ගිනිනිවන රථ සහ ගිලන්රථ කඩිනමින් පැමිණ ඇති අතර ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නැහැ.
මේ අතර සෞදි නායකත්වයෙන් යුත් මිත්‍ර පාක්ෂික හමුදාව පවසා ඇත්තේ රියාද් දෙසට එල්ල වූ හූති මිසයිල තර්ජනයට සාර්ථකව මුහුණ දුන් බවත්, එහිදී සුන්බුන් පතිත වීමෙන් මෙලෙස දේපොළ හානි සිදුව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.








Leave a Reply