පසුගියදා ඉහළ දැමූ ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 5,995ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 322කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 2,398ක් වනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ අමාත්‍ය වසන්ත සමරසිංහ සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ආනයන පිරිවැය ඉහළ ගියද, මාස තුනක් පුරා මිල සංශෝධනයක් නොකර එම අලාභය සමාගම විසින් දරාගත් බවද එම නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් අඛණ්ඩව සිදුවූ අලාභ හේතුවෙන් පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සමාගම පෙන්වා දෙනවා.
ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740ක් දක්වාත්, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,720ක් දක්වාත් ඉහළ දැමුණා.
මෙම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ (16) පාරිභෝගික අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කැඳවනු ලැබූ අතර, එහිදී ඇති වූ එකඟතාවයට අනුව මෙලෙස මිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.








Leave a Reply