යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර, එය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අද (16) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පත් කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක් ද අද පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ, එහි සම සභාපතිවරුන් වන පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන්ගේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.
යෝජිත සංවර්ධන සැලැස්මේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම පිළිබඳව තමන් වහන්සේ කනගාටුවට පත්වන බව උන්වහන්සේ මාධ්‍ය හමුවේ සඳහන් කළා.
තවද පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ වැට සම්බන්ධයෙන් ද මහජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබූ බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
අනුරාධපුර පූජා නගරය තුළ දැනට පදිංචිව සිටින කිසිදු ජනතාවක් එම ස්ථානවලින් ඉවත් කිරීමේ අදහසක් හෝ සංකල්පයක් මෙම සැලැස්ම තුළ නොමැති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළා.







Leave a Reply