Loading...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයකින් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවුණා.

වඩමරච්චි, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ උපත ලැබූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා සිය දේශපාලන ගමන ආරම්භ කළා.

2001 සහ 2004 වර්ෂයන්හිදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා, එම අවස්ථා දෙකේදීම පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

2010 ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ ශිවාජිලිංගම් මහතා, 2013 වසරේ පැවති උතුරු පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ද තේරී පත්ව කටයුතු කළා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටියා.

දෙමළ පක්ෂ කිහිපයක එකතුවෙන් පිහිටුවූ දෙමළ ජාතික සන්ධානය බිහි කරලීම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන් ඒ මහතා, යුද්ධය නිමාවීමෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් පැවති විරෝධතා සහ උපවාස රැසක මූලිකත්වය ගෙන කටයුතු කළා.

අභාවප්‍රාප්ත එම්.කේ. ශිවාජිලිංගම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *