නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටියදී මීට මාස පහකට පමණ පෙර අතුරුදන් වූ පහළොස් හැවිරිදි දැරියක්, මාස දෙකක් වයසැති බිළිඳියක ද සමඟ වනගත ගල් ගුහාවක සිටියදී සොයා ගැනීමට උඩුදුම්බර පොලිසිය සමත්ව තිබෙනවා.
දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.
විමර්ශන අතරතුර, ප්‍රදේශයේ වෙළෙඳසැලකින් දිනපතා තනි පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් මිලදී ගෙන රැගෙන යන තරුණයෙකු පිළිබඳව පොලිසියට සැක මතුවී ඇත.
ඒ අනුව, අදාළ තරුණයා පිළිබඳව විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහු පසුපස හඹා ගොස් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑබද ප්‍රදේශයකට ඇතුළු වී ඇත. එහිදී ඉටි රෙදිවලින් ආවරණය කර තිබූ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක් සමඟ සිටි බාලවයස්කාර මවක් පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
ඇය මීට මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය බව පොලිසිය එහිදී තහවුරු කර ගෙන තිබුණා.
සිද්ධියට අදාළව බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා සහ ඔහුට සහය ලබා දුන් බව කියන 36 හැවිරිදි ඥාතියෙකු උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් දැරියගෙන් සහ 23 හැවිරිදි තරුණයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ අදාළ බාලවයස්කාර දැරිය මෙම ගල් ගුහාව තුළදීම දරුවා ප්‍රසූත කර ඇති බවත් දරු ප්‍රසූතියෙන් අනතුරුව බිළිඳියගේ පෙකණි වැල කපා ඇත්තේ කිතුල් කර්මාන්තයට යොදා ගන්නා තියුණු ආයුධයකින් බවත්ය.
කැලෑවෙන් සොයා ගත් අත්බෙහෙත් වර්ග භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර ලබා දී ඇති අතර, කිතුල් කර්මාන්තයේදී පැණි සෑදීම සඳහා භාවිත කරන තාච්චියක බිළිඳිය නහවා ඇති බව ද සැකකාර පියා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
පොලිස් භාරයට ගත් මාස දෙකක බිළිඳිය සහ බාලවයස්කාර මව පිරිසිදු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








Leave a Reply