Loading...

අයවැයට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද විරෝධතාවල

2027 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (16) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ දීපව්‍යාප්ත වැඩ වර්ජන සහ විරෝධතා ව්‍යාපාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට එම සංගම් පියවර ගෙන ඇත.

වාරිමාර්ග තාක්ෂණ සහයකවරුන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් රාජකාරී කටයුතුවලින් ඉවත් වී අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

“වාරිමාර්ග ක්ෂේත්‍රයේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි තාක්ෂණ සහායක නිලධාරීන් 450කට අධික පිරිසක් සේවය කරනවා. නමුත් අප සංගමයේ නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබෙනවා. අප සංගමයේ නිලධාරීන් පැය 24 පුරාම අඛණ්ඩව ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වෙනවා. මෙම සියලුම නිලධාරීන්ට තම පෞද්ගලික මුදලින් ඉන්ධන වියදම් දැරීමට සිදුව තිබෙනවා. එම වියදම් තවදුරටත් දරා ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති නිසා තමයි අපි මෙවර අයවැයෙන් යම් සහනයක් ලැබේවි කියලා බලාපොරොත්තු වුණේ. නමුත් අපට එවැනි සහනයක් ලැබුණේ නැහැ. ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට අප කටයුතු කළා. දින දෙකක් තුළ අපගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරනවා නම් සාකච්ඡා කිරීමට අප සූදානම්.‘’

වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක කාලයක් රාජකාරිවලින් ඉවත්ව අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් අද වැඩවර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සමිති සංගමයේ සභාපති උපුල් කුමාර මහතා සඳහන් කළා.

”සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සංගමය ලෙස අද උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩ වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම් හතරක් තිබෙනවා. මෙම ඉල්ලීම් අප විසින් ‘දිට්වා’ ආපදා තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේ සිට ඉදිරිපත් කළ ඉල්ලීම්. එම ඉල්ලීම් සම්බන්ධයෙන් නොවැම්බර් 5 වැනිදා ආරක්ෂක ලේකම්වරයා එකඟතාව පළ කරමින් සතියක් ඇතුළත ඒවා ලබාදීමට පොරොන්දු වුණා. නමුත් මේ වන විටත් එම පොරොන්දුව ඉටු කිරීමට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ ආයතන කටයුතු කර නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් සති තුනකට පමණ පෙර ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත් අප කටයුතු කළා. නමුත් අපගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවධානයක් යොමු කර නැහැ. මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී පවා ආපදා සහන සේවා නිලධාරීන්ගේ ගැටලු සහ ඉල්ලීම් නොසලකා හැර තිබෙනවා. ඒ හේතුවෙන් අද උදෑසන සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට අප තීරණය කළා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ සියලුම ආපදා සහන සේවා රාජකාරිවලින් ආපදා සහන සේවා නිලධාරීන් ඉවත්ව සිටිනවා.”

මේ අතර, ක්ෂේත්‍ර රාජකාරිවලදී මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමු නොකිරීමට විරෝධය පළ කරමින් අද (16) පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

”ඉංජිනේරු සේවයේ ක්ෂේත්‍ර රාජකාරි වෙනුවෙන් අපට කාලයක් තිස්සේ ලබාදුන් දීමනාව 2024 වසරේදී, විශේෂයෙන්ම රටේ පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට කටයුතු කළා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස අපට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් ද ලබාදෙන ලෙසයි. විශේෂයෙන්ම ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වීමේදී නිලධාරීන්ට පෞද්ගලිකව සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවනවා. ඒ වෙනුවෙන් අපි රුපියල් 75,000ක දීමනාවක් ඉල්ලා සිටිනවා. මෙහිදී අප ඉල්ලා සිටින්නේ වැටුප් වැඩි කිරීමක් නොවෙයි. ක්ෂේත්‍ර රාජකාරි ආවරණය කිරීමේදී නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය දීමනාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව රජය මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අද දිනයේ අප පවත්වන විරෝධතා රැලිය පාර්ලිමේන්තු පිවිසුම අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ‘’


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *