Loading...

ක්‍රිප්ටෝ මුදල් සහ ඩිජිටල් වත්කම් නියාමනයට රජයෙන් මූලික අනුමැතිය

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) සහ වෙනත් ඩිජිටල් වත්කම් විධිමත් අධීක්ෂණයකට යටත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මූලික අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, මෙම ක්ෂේත්‍රය සඳහා විශේෂ නීතිමය රාමුවක් සකස් කිරීමටත්, ඊටම වෙන් වූ නව නියාමන අධිකාරියක් පිහිටුවීමටත් නියමිත බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම වැඩපිළිවෙළ මේ වන විට ප්‍රතිපත්තිමය අදියර පසු කර ඇති අතර, විවිධ පාර්ශ්වයන්ගේ උපදෙස් සහ අදහස් ලබා ගනිමින් සකස් කළ යෝජිත නීති කෙටුම්පතේ පළමු පිටපත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් රටේ මූල්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා වන නියාමන පද්ධතියක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නියාමනයේ පළමු අදියර යටතේ අතථ්‍ය වත්කම් (Virtual Assets) හඳුනාගනු ලබන්නේ ගෙවීම් මාධ්‍යයක් ලෙස නොව, ආයෝජන වත්කම් වර්ගයක් (Asset Class) ලෙස පමණි. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ එදිනෙදා ගනුදෙනු හෝ ගෙවීම් සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිත කිරීමට අවසර නොලැබෙනවා.

මුදල් විශුද්ධිකරණය (Money Laundering) සහ ත්‍රස්තවාදයට මූල්‍ය ආධාර සැපයීම වැළැක්වීම සඳහා ගනුදෙනුවල විනිවිදභාවය සහ සොයා ගැනීමේ හැකියාව (Traceability) වැඩි දියුණු කිරීමට ජාත්‍යන්තරව පිළිගත් “Travel Rule” (ගනුදෙනු තොරතුරු හුවමාරු කිරීමේ නීතිය) වැනි යාන්ත්‍රණ ක්‍රියාත්මක කෙරෙනවා.

සේවා සපයන්නන් අධීක්ෂණය: අතථ්‍ය වත්කම් සම්බන්ධ සියලුම සේවා සපයන්නන් මෙම නව නීතිය යටතේ දැඩි නියාමනයට සහ අධීක්ෂණයට යටත් වනු ඇත.

යෝජිත නව නියාමන ආයතනය 2027 වසරේ තෙවන කාර්තුව වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *