ප්‍රමාණවත් මූල්‍ය අනුග්‍රහය සහ ක්‍රීඩා යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් තම ක්‍රීඩා දිවිය කලකිරීමෙන් අවසන් කිරීමට සිදුවූ බවට ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා වන යුපුන් අබේකෝන් කළ ප්‍රකාශයට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පිළිතුරු ලබාදී තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යුපුන් අබේකෝන් දක්ෂතා රැසක් දැක්වූ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් ක්‍රීඩකයෙකු වුවද, ඔහු ඉල්ලා සිටින මුදල ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවයි.
අමාත්‍යවරයාට අනුව, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් ලබාදෙන බවට යුපුන්ට වාචික පොරොන්දුවක් ලබාදී ඇති අතර, යුපුන් මේ වනවිට එම මුදල රජයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, එවැනි වාචික පොරොන්දුවක් පදනම් කරගෙන රාජ්‍ය මුදල් ගෙවීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩකයන්ට මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නේ ‘Mission Olympic’ වැඩසටහන යටතේ ක්‍රීඩකයාගේ වර්තමාන දක්ෂතා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම සහ කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් බවයි.
“යුපුන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ලංකාවට කීර්තියක් ගෙනාපු ක්‍රීඩකයෙක්. අපි ඔහු සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. අමාත්‍යාංශයටත් ආවා, පාර්ලිමේන්තුවටත් ඇවිත් අපි කතා කළා. නමුත් ඔහුගේ ඉල්ලීම වෙනස්. හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ තුන අපෙන් ඉල්ලනවා. අපිට එහෙම මුදලක් ගෙවන්න බැහැ,” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව, වර්තමාන රජයට පෙර ලබාදුන් වාචික පොරොන්දු මත රාජ්‍ය මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බවත්, යුපුන් අනෙකුත් ක්‍රීඩකයන් මෙන්ම පවතින ක්‍රමවේදයට අනුව තරග කරන්නේ නම් අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබාදීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මීට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුපුන් අබේකෝන් සඳහන් කළේ, ප්‍රමාණවත් මූල්‍ය අනුග්‍රහය සහ ක්‍රීඩා යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් තමන් දැඩි කලකිරීමකට පත්වූ බවත්, තවදුරටත් ජාත්‍යන්තර මට්ටමේ වසර කිහිපයක් තරග කළ හැකි වුවද එම තත්ත්වයන් හේතුවෙන් ක්‍රීඩා දිවියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
එමෙන්ම, වසරක් පුරා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට උත්සාහ කළද ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා යටිතල පහසුකම් සහ ක්‍රීඩකයන්ට ලැබෙන සහයෝගය පිළිබඳව ද තමන් දැඩි කලකිරීමකින් පසුවන බවත් යුපුන් අබේකෝන් ප්‍රකාශ කර තිබුණා.








Leave a Reply