Loading...

“ඔර්නබ්” සුළි කුණාටුවේ වක්‍ර බලපෑම් හමුවේ දිවයිනේ කාලගුණය අයහපත් අතට

“ඔර්නබ්” (Ornab) සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොත්මලේ සහ විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ප්‍රදේශ රැසකට නායයෑමේ රතු අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

“ඔර්නබ්” සුළි කුණාටුව සහ කාලගුණ තත්ත්වය

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රියව පවතින “ඔර්නබ්” සුළි කුණාටුවෙන් මෙරටට සෘජු බලපෑම් නොමැති වුවද, එහි වක්‍ර බලපෑම් දිගින් දිගටම පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසනවා.

දකුණු, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි අතර, ඊයේ (25) සහ අද (26) පැවැති වැසි තත්ත්වයේ යම් අඩුවීමක් හෙට (27) දිනයේ බලාපොරොත්තු විය හැකියි.

එහෙත් තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් පසුවිය යුතු වනවා.

එළැඹෙන 28 වන දින සවස වන විට මෙම සුළි කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් හරහා ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ මෙරටට ඇති බලපෑම පහව යනු ඇත.

ජලාශවල තත්ත්වය සහ ගංගා ආශ්‍රිත අවදානම

පවතින අධික වර්ෂාවත් සමඟ නොර්ටන්බ්‍රිජ් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය අද (26) උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කෙසෙල්ගමුඔය සහ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන ලෙස ආරක්ෂක අංශ දැනුම් දෙනවා.

මේ අතර, කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ධාරිතාව 78.71% දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරි වර්ෂාපතනයත් සමඟ ඕනෑම මොහොතක වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය පූර්ව දැනුම්දීමක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, කොත්මලා ඔය ආශ්‍රිත නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර මෙන්ම මහවැලි ගඟ ආශ්‍රිත උලපනේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා පහත් බිම්වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අවධාරණය කරනවා.

දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාවත් සමඟ සුළු නායයෑම් සිදුවීම් 117ක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළා.

අද (26) පස්වරු 2.45 සිට හෙට (27) පස්වරු 2.45 දක්වා බලපැවැත්වෙන පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම් (Level 3) නිකුත් කර ඇත.

දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම්: කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර තිබෙනවා.

පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම්: ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇත.

අද රාත්‍රියේ වර්ෂාව වැඩිවීමත් සමඟ පස සංතෘප්ත වී ඇති බැවින් නායයෑම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානම ඉහළ යා හැකි බැවින්, කඳුකර ප්‍රදේශවල සහ නිවාස පිටුපස අස්ථාවර පස් කණ්ඩි පවතින ස්ථානවල ජීවත් වන ජනතාව විශේෂ ආරක්ෂිත පියවර ගන්නා ලෙස පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *