Loading...

ඉරාන ප්‍රහාරවලට අමෙරිකාවෙන් දැඩි ප්‍රතිචාර

මැදපෙරදිග අමෙරිකානු හමුදා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර ලෙස ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකානු හමුදාව නිවේදනය කර තිබෙනවා.

අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ, පසුගිය අඟහරුවාදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

ඉරාකයේ ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී කණ්ඩායම් ඉලක්ක කර අමෙරිකාව සහ සෞදි අරාබිය ඒකාබද්ධ ප්‍රහාර දියත් කර දිනක් ගතවීමෙන් පසු මෙම නවතම ගැටුම් උත්සන්න වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වූ අමෙරිකා – ඉරාන ගැටුම සති කිහිපයකින් අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, මේ වන විට එය මාස පහක් පුරා පැවතෙනවා.

සති කිහිපයක සාපේක්ෂ සාමකාමී තත්ත්වයකින් අනතුරුව නැවතත් ගැටුම් උත්සන්න වී ඇති අතර, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් පිළිබඳ පැවති බලාපොරොත්තුද මේ සමඟ අඩාල වී ඇති බව විදෙස් විචාරකයින් පවසනවා.

මේ අතර, ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් අනතුරුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලද යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 7කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *