Loading...

ගෝඨාගේ ගෙදර අසල පැවැත්වුණු උද්ඝෝෂණය ගැන බුද්ධි අංශයට තොරතුරු ලැබී නෑ

2022 වසරේ අරගලය පැවැති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස අසල පැවැති උද්ඝෝෂණ හා කලහකාරී සිද්ධීන් සම්බන්ධව ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම උද්ඝෝෂණවලදී තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අරගලකරුවන් පිරිසක් විසින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (18) විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇසු පැනයකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මේ බව කියා සිටියා.

මීට අදාළ පෙත්සම් විජිත් මලලගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (18) විභාගයට ගනු ලැබුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මුලින්ම උද්ඝෝෂණ ආරම්භ වූ ආකාරය විස්තර කර තිබෙනවා.

මෙම අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්ණයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළව බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණේ දැයි විමසා සිටියා.

එහිදී ඊට පිළිතුරු ලබාදෙමින් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.

ඉන්පසුව රජයේ නීතිඥවරයා විසින් මෙම උද්ඝෝෂණයට අදාළ වීඩියෝ පට විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කරමින් කරුණු ඉදිරිපත් කළා.

ඉන්පසුව පෙත්සම් වැඩිදුර විභාගය සඳහා කල් තබනු ලැබුවා.

2022 වසරේ මාර්තු මස් ආ 1 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවලදී තමන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමෙන් පොලීසිය සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *