දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වෙන කාවඩි නර්තනය සහිත පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව පොලීසියට අමතරව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද පෙරහැරේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙවර එම නර්තනය නතර කිරීමට පොලිස්පතිවරයා පසුගියදා නිර්දේශ කර තිබුණා.
කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා එක් වූ සියලු කණ්ඩායම්වලට මෙවරත් සහභාගී වීමට අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සෘජු අධීක්ෂණය යටතේ අද (28) දෙවිනුවර ශ්‍රී උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර කාවඩි නර්තනය සමඟ වීදි සංචාරය කිරීමට නියමිතයි.







Leave a Reply