මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 05 වනදා පස්වරු 1.00 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි.
මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාව, ඉදිරියටත් වර්ෂාපතනය ඇතිවිය හැකි බවට පවතින පුරෝකථන සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, කොත්මලේ, පස්බාගේ කෝරළය, ගඟඉහළ කෝරළය, පම්බාගේ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම රතු නිවේදනය බලපැවැත්වෙනවා.
අදාළ ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
කඩුගන්නාව – ගනේතැන්න අතර කොළඹ – මහනුවර මාර්ගය තාවකාලිකව වැසේ
කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් ඉදිරි දැනුම්දීමක් නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.
දියගලදී පස්කඳු කඩාවැටෙයි – හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාලයි
අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු සහ ගල් පර්වත කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ බලා ගමන් කරන රථවාහන මෙන්ම එම දිශාවලින් හැටන් දෙසට පැමිණෙන රථවාහන ද මේ හේතුවෙන් දැඩි ගමනාගමන බාධාවන්ට ලක්ව ඇති බවයි.
මේ වනවිට මාර්ගයේ දෙපස විශාල රථවාහන සංඛ්‍යාවක් පෝලිම් ගැසී ඇති අතර, මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය පස්කඳු සහ ගල් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට වැසේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (04) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.ඩී. දිසානායක මහතා සඳහන් කළේ, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ සහ හඟුරන්කෙත අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා මෙම නිවාඩුව ලබාදී ඇති බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික පාසල් ද හෙට දිනයේ වසා තැබෙනවා.
මේ අතර, අඛණ්ඩ වර්ෂාව සහ හදිසි කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දී තිබෙනවා.
පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවදානමක්
මහවැලි ගඟේ ජල මට්ටම පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද (03) පස්වරු 3.00ට කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බවත්, ඒ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළා.
උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එහි සඳහන්.
මේ වනවිට අදාළ ප්‍රදේශ වෙත ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් යොදවා ඇති අතර, අවශ්‍ය වුවහොත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට සියලු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
යම් ආපදා තත්ත්වයක් වාර්තා වුවහොත් 117 හදිසි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.








Leave a Reply