Loading...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතාට සිදුකර ඇති ස්ථානමාරුවට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු යහපත් විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරෙනවා,

දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම.

සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) අත්හිටුවීම.

මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත යථාවත් නොකිරීම.

බී.එච්. මිගස්දෙනිය මහතාගේ ස්ථානමාරුව වහාම අවලංගු කර, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට දරන උත්සාහය ද තමන් දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති සහ ලේකම්වරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා පූර්ණ සහය ලබාදීමට මෙන්ම ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *