නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කුඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙක් සහ තරුණයන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය සඳහන් කළේ බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් වයස අවුරුදු 20 – 30ත් අතර පසුවන තරුණ තරුණියන් බවටද තොරතුරු වාර්තා වනවා.
මෙම කණ්ඩායමේ කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කුඩාරම් ගැසීමට සම්බන්ධ වී නකල්ස් රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළුවී ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
තවද වැඩිදුර සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම කණ්ඩායම රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී කුඩාරම් ගසාගෙන සිට ඇති බවත් රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාදා පවත්වා ඇති බවත්ය.
අත්අඩංගුවට ගත් පිරිස අතර විශ්ව විද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන්ද සිටින බවයි හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
Leave a Reply