Loading...

වැලිමඩ ගොවි ජනතාවගේ සුසුම: අතරමග නැවතුණු මාර්ග සංවර්ධනය

වැලිමඩ යන නම ඇසූ පමණින් කාගේත් මතකයට එන්නේ එළවලුයි. වැළිමඩ ප්‍රදේශය ගත්කල එහ ජීවත්වන ජනතාවගෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ජීවනෝපාය ලෙස කරනු ලබන්නේ ගොවිතැනයි. එම ගොවීන් තමන්ගේ වගාවන් නිසි පරිදි කරගෙන ඉන් හොද ලාභයක් උපයන්න නම් තමන්ට යටිතල පහසුකම් සැපිරීම අනිවාර්ය වනවා. එහිදී ප්‍රවාහනය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් මාර්ග පද්ධතිය නිසියාකාරව තිබිය යුතුවීම අවිවාදයෙන් සදහන් කල යුතුමයි.

නමුත් කලින් කලට පත්වන පාලකයින්ගේ නිසි සැලැස්මකට අනුව කටයුතු සිද්ධ නොවීම තුලින් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත්තේ ගොවි ජනතාවයි. වැළිමඩ නැදුන්ගමුව ගම්මානයේ ජනතාව චෝදනා කරන්නේ තමන්ගේ තිබූ මාර්ගය කඩා බිද දමමින් සංවර්ධනය ආරම්භ කලද එය අතරමග නවතා දැමීමෙන් වසර ගණනාවක් තිස්සේ තමන් දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති බවයි.   

වැලිමඩ නගරයේ සිට නැදුන්ගමුව හරහා කෙරදිමුල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු 2017 වසරේදී ආරම්භ වුවද එය අතරමග නතර කර දැමීම හේතුවෙන් එම මාර්ගය දෛනිකව භාවිතා කරන පවුල් හත්දහසක් පමණ දැඩි පීඩාවට පත්ව ඇතැයි ජනතාව මැසිවිලි නගති.

2017 වර්ෂයේ ලෝක බැංකු ණය ආධාර යටතේ අයිරෝඩ් ව්‍යාපෘතියට අදාලව මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. එහිදී වැලිමඩ සිට නැදුන්ගමුව විහාරස්ථානය දක්වා කොටස පමණක් අධියර කිහිපයක් යටතේ ඉබි ගමනින් කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර නැදුන්ගමුව විහාරස්ථානය අසල සිට මාවිතිකුඹුර හරහා කෙරදිමුල්ල දක්වා වු කිලෝමීටර් දෙකක් පමණ වු මාර්ග කොටසේ සංවර්ධන කටයුතු අතර මග නතර කර ඇතැයි ජනතාව චෝදනා කරති.

කොහොම වුනත් මාර්ගය සංවර්ධනය කරන බව පෙන්වලා කොන්ත්‍රාත් සමාගම රුපියල් කෝටි ගණන් අරගෙන ඇති. නමුත් මාර්ගය හැදුවේ නැහැ. මේ නිරපරාදේ වියදම් වෙන්නේ අපේම සල්ලි නෙවෙයිද. ජනතාව අදාල බළධාරීන්ගෙන් ප්‍රශ්න කරති.

නැදුන්ගමුව, මාවිතිකුඹුර, අළුගොල්ල, කෙරදිමුල්ල ආදී ගම්මාන රැසක ජනතාව මෙම මාර්ගය භාවිතා කරන අතර වැලිමඩ සිට බෝගහකුඹුර නගරය දක්වා යෑම සදහා අතුරු මාර්ගයක් මෙන්ම කෙටි මාර්ගයක් ලෙසද ජනතාව මෙම මාර්ගය භාවිතා කරයි.

මාර්ගය සංවර්ධනය සදහා කඩා දැමුණු මාර්ග වැසි කාලවලදී මඩ ගොහොරුවක් බවත් පායන කාලයේදී දූවිලි වලින් පීඩා විදින බවයි ජනතාව පෙන්වා දෙන්නේ.  ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනයද අඩාලව තිබේ. දෛනිකව වැලිමඩ නගරයේ සිට මගී බස් රථ 16 ක් ගමන් වාර 30 ක් පමණ ධාවනය වන අතර එම බස් රථද මෙම මාර්ගයේ පවතින අබලන් තත්වය හේතුවෙන් ඇතැම් අවස්තාවල නැදුන්ගමුව විහාරස්ථානය දක්වා පමණක් ධාවනය කරන බවත් ජනතාව පවසති. කෘෂි කර්මාන්තය ජීවනෝපාය කර ගත් ගම්මාන රැසක ජනතාව මෙම මාර්ගය භාවිතා කරන අතර මාර්ගයේ පවතින අබලන් තත්වය හේතුවෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටය.

නැදුන්ගමුව ග්‍රාමීය රෝහල වෙත පැමිනෙන ජනතාවද මෙම මාර්ගය භාවිතා කරන අතර රෝගියෙක් ගෙනයැමට තරම් සුදුසු තත්වයේ මෙම මාර්ගය නොමැති බවත් ජනතාව පවසති.

එම නිසා කඩිනමින් මෙම මාර්ගයේ අතරමග නැවතුන සංවර්ධන කටයුතු යලි ආරම්භ කර දෙන මෙන් ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *