Loading...

පාලම හැදුවත් පාර නොමැතිකම නිසා පීඩාවට පත් ජනතාව

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කහටරුප්ප ඌරුමීතැන්න හරහා කොහොනාවල දක්වා මාර්ගයේ ලොග්ගල්ලා ඔය හරහා ඉදිකර ඇති පාලමෙන් වාහන ධාවනය නොවන තත්වයක් උද්ගතව ඇතැයි ජනතාව චෝදනා කරති.

ඊට හේතුවී ඇත්තේ පාලම සකස් කෙරුනද පාලම දක්වා ඒමට ඇති මාර්ගය සහ පාලමෙන් එගොඩට වන්න ඇති මාර්ගය සාදා නොමැතිවීම බවයි ජනතාව පෙන්වා දෙන්නේ. විවිධ අවස්ථා වලදී මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බව පැවසුවත් වසර ගණනාවක් තිස්සේ මාර්ගය සකස් නොකිරීම මත එහි කිසිදු වාහනයකට ගමන් කිරීම අපහසු බැවින් ලොග්ගලා ඔය හරහා පාලම ඉදිවුවත් ඉන් ප්‍රයෝජනයක් වී නොමැති බවට ජනතාව පෙන්වා දෙයි.

එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ග්‍රාමීය පාලම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන අමාත්‍යංශය හා ඌව පළාත් සභාව එක්ව ඉදිකෙරුණු කොහොනාවල මාර්ගය යාකරන පාලම 2019 පෙබරවාරි 02වන දින ජනතා අයිතියට පත් කිරීම කර තිබේ. ඒ එවකට ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අත්තනායක මහතා

කහටරුප්ප සිට කොහොනාවල දක්වා ඇති මෙම මාර්ගයේ ගම්මාන කිහිපයක්ම තියෙනවා. එහි පවුල් සිය ගණනක් ජීවත් වෙනවා. මෙම ගම්වාසීන්ගේ ප්‍රධානතම ජීවනෝපාය හේන් සහ වී ගොවිතැනයි. ගම්මිරිස් ඇතුලු බොහෝ භෝග වර්ග වලින් තමයි ජීවිතය ගැට ගහගන්නේ. නමුත් මේ කිසිදු භෝගයක් නිසි මිලකට අලෙවි කරගන්න ක්‍රමයක් අපිට නැහැ. හේතුව තමයි ගම්මානයට වාහනයක් එන්න තියෙන දුෂ්කරතාවය. මුලු ගම්මානෙටම කියලා ලොරියක් තියෙනවා. ඒකෙන් තමයි අපේ භෝග බදුල්ලට හරි පස්සරට හරි අරන් එන්නේ.

ඒවා අරන් එන්න අපි පුදුම දුකක් විදිනවා. සමහර දාට ලොරිය තිබුණේ නැති වුනොත් හිස බරෙන් තමයි ගේන්න වෙන්නේ. කිලෝ මීටර් 8ක් 10ක් කොහොමද බඩු උස්සගෙන එන්නේ. වැහි දවස් වලට එහෙම පාරේ පයින්වත් යන්න බැහැ. අපි පාර හදලා දෙන්න කියලා හැම දේශපාලන පක්ෂයකම අයට කිවුවා. නමුත් පාර හැදුවේ නැහැ. පාලම හැදුවා. පාලම හදපු එක හොදයි. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් ලක්ෂ ගණන් වැය කරලා පාලම හැදුවට පාර නැති නිසා පාලමෙන් අද වැඩක් වෙලා නැහැ.

කල්‍යාණි මහත්මිය අදහස් දක්වමින්

මේ මාර්ගය භාවිතා කරන පවුල් සංඛ්‍යාව ගත්තම වියදම් කරන මුදලත් එක්ක ඡන්ද ප්‍රමාණය මදි නිසාලු මාර්ගය හදන්නේ නැත්තේ. එහෙම තමයි අපිට දැනගන්න තියෙන්නේ. මෙදා පාර ජනාධිපතිවරණයට අපෙනුත් ඡන්දෙ ඉල්ලගෙන එයිනේ. එදාට අපි කරන්න ඕනි වැඩේ අපි දන්නවා. අපි පරම්පරා කීපයක ඉදන් දුක් විදිනවා. දැන් අලුත් පරම්පරාව ගම් බිම් අත්හැරලා යනවා. අපි හද්දා පිටිසර නෙවෙයි. පාර හරියට තිබුණානම් බදුල්ලට එන්න පැයක්වත් යන්නේ නැහැ. දේශීය ගොවියා දියුණු කරනවා කිවුවට එහෙම කරන පාටක්නම් අපිට පේන්න නැහැ. කොහොම වුනත් මෙදා පාර පාර හදලා දුන්නේ නැත්නම් අපි කිසිම දවසක ඡන්දයක්නම් දෙන්නේ නැහැ.

ලොකුවට වියදම් කරලා පාලම හැදුවට අද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිවුණා. පාරක් හදන්නේ නැතුව පාලමක් හදන්න තරම් මේ පාලකයෝ අන්ධද කියලා තමයි අන්තිමේ අහන්න තියෙන්නේ. 


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *