Loading...

සංවර්ධනයට ගෙනත් දිරාපත් වෙන යන්ත්‍ර

වාරිමාර්ග අමාත්‍යංශයට අනුබද්ධ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය (CECB) මගින් 2019 වසරේදී බදුල්ලේ මාර්ගයක් කාපට් කර ප්‍රතිසංස්කරණ කටයුත්තකට ගෙනා කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර රැසක් මාර්ගය අසල දිරාපත් වෙන්නට හැර ඇති පුවතක් වාර්ථා වනවා.

බදුල්ල දයා ගුණසේකර මාර්ගය කාලයක් තිස්සේ දැඩි ලෙස අබලන්ව තිබුණු මාර්ගයක්. මෙම මාර්ගය බදුල්ල නගරය මග හැර යාමට ඇති එකම විකල්ප මාර්ගය ලෙස බොහෝ රථවාහන රියදුරන් භාවිතා කරනවා. මැතිවරණ දිනයකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් මාර්ගය වසා දැමුවද කිසිදු රථවාහනයකට තම ගමන් අවශ්‍යතාවය නවතා දැමීමට සිදු නොවන්නේ මෙම මාර්ගය නිසයි.

එමෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය, බෙහෙත් ගබඩාව, අපද්‍රව්‍ය ඉවත් කරනා ස්ථානය ආදිය මෙන්ම රජයේ ආයතන රැසකටත් විද්‍යාල කිහිපයකටත් ගමන් කල හැකි මාර්ගයක් ලෙසත් බදුල්ලේ හිටපු නගරාධිපති වරයෙක් වන දයා ගුණසේකර මහතාගේ නමින් මාර්ගය සටහන්ව ඇති නිසාත් මෙම මාර්ගය වඩාත් ප්‍රසිද්ධියක්ද උසුලයි.

ඉතින් එවන්වූ වටිනාකමක් ඇති මාර්ගය ලෙස හදුනාගත් මෙම මාර්ගය අබලන්ව පැවති නිසාම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමටයි යෝජනා වී ඇත්තේ. ඒ අනුව 2019 වසරේ අග භාගයේදී පමණ මාර්ගය කාපට් කිරීම සිදු කෙරිණ. ඒ සදහා කෝටි ගණනක වටිනාකමකින් යුත් මාර්ගය තලන මැෂින්, (නියුමැටික් රෝල්) කාපට් අතුරණ මැෂින්, (පේවර් මැෂින්) සහ කම්පැක්ට් රෝල් යොදාගෙන තිබුණි.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අවසන්වූ අතර, මේවන විට ජනතාව කිසිදු කරදරයකින් තොරව මාර්ගය භාවිතා කරති. මාර්ගය ප්‍රතිසංස්කරණය කර අවසන් වුවද ඒ සදහා ගෙනා යන්ත්‍ර සූත්‍ර එදා රැගෙන නොගිය අතර ඒවා වසර පහකටත් ආසන්න කාලයක් ගතවන මේ මොහොතේදීත් මාර්ගය අසල නවතා දමා ගොස් ඇති ආකාරය දැකගත හැකිවෙයි. ඒවා සියල්ලම අව්වට සහ වැස්සට නිරාවරණය වෙමින් මේ වන විට දිරාපත්වන තත්වයට පත්ව අවසන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් CECB බදුල්ල කාර්යාලයේ උසස් නිළධාරියෙක්ගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම යන්ත්‍ර සියල්ලම වෙන්දේසි දැමීමට ඇති බවත් ඒ බව ප්‍රධාන කාර්යාලය දැනුවත් කර ඇති බවයි. 

“මේවා වෙන්දේසි කරන්න තරම් මොනවත් වෙලා නැහැ. මාර්ගය සකසලා ඉවර වෙනවත් එක්කම මේ මැෂින් තුනම කැඩුනද. නැහැ. මේක වුනේ මෙහෙමයි. මේ මාර්ගය හදනකොට මෙයාලා හිටියේ බදුල්ල බණ්ඩාරනායක මාවතේ කාර්යාලයකයි. කොහොම හරි එයාලට එතැනින් යන්න වුණා. ඊට පස්සේ දැන් ඉන්නේ බදුල්ල ‍ශික්ෂණ රෝහලේ එක් ස්ථානයකයි. ඉතින් මෙයාලට මේ යන්ත්‍ර ටික අරන් ගිහින් තියාගන්න තැනක් නැතිවුණා. ඒ නිසයි මේවා පාරේ දාලා ගියේ. මේ කෝටි ගණන් දේපල විනාශ වෙන්න ඇරියේ මේ නිළධාරීන්මයි. දැන් නම් මේවායින් ගන්න දෙයක් නැතුව ඇති. ගන්න පුලුවන් කෑලි හොරු ගලවගෙන ගිහින් ඇති. මොනවා උනත් මේවා ජාතික අපරාධ “ නම කීමට අකමැති පුද්ගලයෙක් පැවසුවේ එවැන්නක්.

කෙසේ නමුත් අපගේ මෙම පුවතින් පසුව මෙම යන්ත්‍ර සූත්‍ර වෙනත් ස්ථානයකට ගිහින් දමාවි. එහෙමත් නැතිනම් යකඩ වලට විකුණා දමාවි. රට රටවල් වලට ණය වෙමින් අප රටේ සංවර්ධනයට දායක කරවීමට රැගෙන ආ මෙම යන්ත්‍ර සූත්‍ර සදහා වියදම් කර ඇත්තේ අප ජනතාවගේ මෙන්ම සංවර්ධන කටයුතු සිදුකල ආයතනයේ නිළදාරීන්ගේම මුදලින් බැව් අවබෝධ කර ගත යුතුය. එසේ නොවනතාක් අප ඉදිරියේදීත් මෙවන්වූ නොසැලකිලිමත් අන්දමේ තීරණ ගනු නොඅනුමානයි.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *