Loading...

වැලි ජාවාරමට ලොල් වූ දේශපාලනඥයා කවුද ??

ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා රජයේ මුදල් ප්‍රතිපාදන මත රුපියල් මිලියන 11,880ක වියදමින් ආරම්භ කෙරුණු බදුල්ල හාලිඇල සහ ඇල්ල ඒකාබද්ධ දෙමෝදර ජලාශය වැලි විකිණීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ජනතාව පවසති.  ඇල්ල, දෙමෝදර, හාලිඇල, බදුල්ල ආදී ප්‍රදේශයන්හි 110,000ක ජනතාවකට ජලය ලබාදීමේ අරමුණ ඇතිව 2014.06.08වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජලාශයේ වැඩ ආරම්භ කෙරුණු අතර, එය 2017.03.30වන දින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. දිගින් මීටර් 74කින් සහ උසින් මීටර් 17.8කින් මෙම ජලාශයේ වේල්ල නිමවා ඇති අතර, එහි ඝන මීටර් 134,618ක ජල ධාරිතාවක් රදවා ගැනීම අපේක්ෂා කර තිබේ.

එසේ ආරම්භවූ දෙමෝදර ජලාශය 2023 දෙසැම්බර් මස සිට භාවිතයට ගත නොහැකි තත්වයකට පත්විය. ඊට හේතුව වී තිබුණේ ජලාශය සම්පූර්ණයෙන්ම මඩ වලින් පිරී තිබීමයි. මෙම ජලාශයේ මඩ සොරොව්ව සකසා ඇත්තේ ජලාශය ඇතුලතින් වන අතර, එම මඩ සොරොව්ව සම්පූර්ණයෙන්ම වැසී යාම හේතුවෙන් මෙසේ ජලාශය මඩ වලින් පිරී ගොස් ඇත.

දෛනිකව ඝන මීටර් 15,000ක ප්‍රමාණයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබුනත් එය ඝන මීටර් 11,000 ප්‍රමාණයට වඩා ඉහළ ගොස් නැති බවත් එය එන්න එන්න අඩු මට්ටමක පැවති බවත් ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිළධාරියෙක් සදහන් කලා. ඊට හේතුව වී ඇත්තේ ජලාශය තුල මඩ සහ වැලි ටිකෙන් ටික එක්රැස්වී තිබීම නිසා බව මේ වන විට තහවුරුවී තිබේ.

WesTech සහ ICC ඇතුලු තවත් සමාගම් කිහිපයක් විසින් මෙම ජලාශයේ සහ ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙන අතර, ජලාශයේ මඩ සොරොව්ව නිසි ඉංජිනේරු ශිල්පයකට අනුව සිදුකර නොමැති බවට ජනතාව චෝදනා කරති.  මෙම මඩ පිරීමත් සමගින් එම මඩ ඉවත් කිරීමට කොන්ත්‍රාත් සමාගමකට භාරදී තිබෙන අතර ඒ සදහා රුපියල් ලක්ෂ 500ක පමණ මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බව සදහන්ය . ඒ අනුව 2023 දෙසැම්බර් මුල් සතියේදී පමණ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙම මඩ ඉවත් කිරීම ආරම්භ කර ඇත. නමුත් එම මඩ ඉවත් කිරීමත් සමගින් ජලාශයෙන් මතුවූ වැලි වලට ලොල්වූ දේශපාලකයෙක් නිළධාරීන්ගේද සහය ඇතිව වැලි ජාවාරමේ නිරතවූ බවට ජනතාව චෝදනා කරන අතර මේ වන විට මාස ගණනක් ගෙවී ඇතත් තවමත් ජලාශයේ පිරුණු මඩ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කර නොමැත.

මෙම ඉවත් කරන මඩ සෝදා හරිමින් වැලි වෙන්කර තවත් ප්‍රදේශයක ගොඩගසා එම වැලි විකිණීම සිදුකරන බවත් මඩ සෝදා හැරීමත් සමගින් දෙමෝදරින් පහලට වන්නට බදුලු ඔය භාවිතා කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් ජනතාව පෙන්වා දෙයි. එමෙන්ම බදුලු ඔයේ ජීවත්වූ මාලු විශාල වශයෙන් මියගොස් ඇත. කෙසේ වෙතත් ගෙවී ගිය මාස හය ඇතුලත මෙම මඩ ඉවත් කිරීම වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයවී ඇති බව සදහන්. 

මෙම මඩ ඉවත් කිරීම සිදු කෙරෙන කාලය තුලදී ජනතාවට ජලය සැපයීම සදහා තාවකාලික නලයක් මගින් ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගැනීමට ජල සම්පාදන බලධාරීන් කටයුතු කර ඇති අතර, ඒ සදහා ද රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වැයවී ඇති බවද සදහන්. ඒ අනුව මේ වන විට ජනතාවගේ ජල අවශ්‍යතාවයෙන් සීමිත ප්‍රමාණයක් ලබාදීමට බළධාරීන් කටයුතු කර ඇත.

ඒ පිළිබදව අදහස් දැක්වූ ජල පාරිභෝගිකයෙක්,

“දෙමෝදර ජලාශය පටන් ගත්ත දවස්වල අපිට ජලය සාමාන්‍ය පරිදි ලැබුණා. නමුත් පහුගිය මාස කිහිපයේදී අපිට වතුර ආවේ දින දෙකකට සැරයක් විතරයි. ඒ එන ජලය පාවිච්චි කරන්න බැහැ. වතුර තනිකරම බොර පාටයි. වතුරත් එක්ක මඩත් ආවා. දැන් දවසකට පැයක් විතර වතුර එනවා. එය ගෙදරකට හොදටම මදි. නමුත් කරන්න දෙයක් නැහැ. මේ ජලාශය හැදුනම අපි ගොඩාක් සතුටු වුණා. නමුත් අද වෙලා තියෙන දේ දැක්කම අපිටම දුකයි”

වසර හතක් වැනි කෙටි කාලයක් තුල මේ ආකාරයෙන් ජලාශයේ මඩ පිරීමට හේතුව කුමක්ද යන්න ගැනත් අපි පරිසරවේදියෙක්ගෙන් විමසා සිටියා.

“දෙමෝදර ජලාශය පිහිටා තිබෙන්නේ කදු ආශ්‍රිතවයි. වසරකට දෙසැරයක් පමණ මෙම කදු රක්ෂිත කිසියම් පුද්ගලයින් විසින් ගිනි තියනවා. ඒ ගිනි තැබීමෙන් රක්ෂිත ආකාශයට නිරාවරණයවීමත් එක්ක වර්ෂා පතනය හේතුවෙන් පස් සෝදාගෙන ඇවිත් එම පස් මඩ වශයෙන් ජලාශයේ තැන්පත් වෙනවා. ඒ වගේම තමයි මෙම ජලාශයට ඉහලින් බණ්ඩාරවෙල දෙසට වන්නට මාර්ගය දෙපසට විශාල ලෙස කිසියම් පුද්ගලයින් විසින් පස් බැහැර කරලා තියෙනවා. ඒවාත් එකතු වෙන්නේ බදුලු ඹයටයි. ඉතින් ඒවත් ගසාගෙන ඇවිත් එක්රැස් වෙනවා. එයත් මෙම මඩ එකතු වීමට හේතුවක් වෙන්නට පුලුවන්”යනුවෙන් සදහන් කලා.

නමුත් නිසි ආකාරයෙන් නිසි ප්‍රමිතියට අනුව මඩ සොරොව්වක් සාදා ජලාශය සාදා තිබුනේ නම් මෙවන් ආකාරයේ දෙයක් සිදු නොවන්නට තිබුණි. කෙසේ වෙතත් දැන් හෝ ජනතාව ගැන සිතා වැලි ජාවාරම අතහැර ජලාශය නිසි ලෙස සකසාදීමට අදාලව කටයුතු කිරීම දේශපාලකයින්ගේ සහ නිළධාරීන්ගේ යුතුකම බව වටහා ගත යුතුව ඇත.

සටහන – ජයලත් දිසානායක

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *