වයඹ පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන පේෂල ජයරත්න මහතා විසින් ආරම්භ කරන ලද “අධ්‍යාපන සංවර්ධන අරමුදල” සුදු අලියෙකු බවට පත්වී “වෙච්ච කෙරිච්ච දෙයක් නැතැයි තොරතුරු අනාවරණය වේ.
2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී වයඹ පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් මෙම අධ්‍යාපන සංවර්ධන අරමුදල ආරම්භ කර ඇත. වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුළ පිහිටි පාසල් 1254 ක සිසු සිසුවියන්ට අභ්‍යාස පොත් සහ සී.ආර්.පොත් අලවි කර උපයා ගැනීමට අපේක්ෂා කර ඇති ආදායම රුපියල් ලක්ෂ 100 කි.වයඹ පළාත තුළ ඇති දුෂ්කර පාසල් වල අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතා ඇති සිසු සිසුවියන්ට අවශ්‍ය සහාය ලබා දීම මෙම අරමුදල පිහිටුවීමේ අරමුණ බව හිටපු ආණ්ඩුකාරවරයා එම කාල වකවානුවේ සදහන් කරන ලදි.
ඒ අනුව වයඹ පළාත් සභාව සතු විශාල මුදලක් වැය කර කුරුණෑගල පිහිටි පුද්ගලික ආයතනයකින් අභ්‍යාස සහ සී.ආර්.පොත් මුද්‍රණය කිරීම සිදු කර ඇත. පොත් මුද්‍රණය කිරීම සදහා ටෙන්ඩර් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර නොමැති බව අප විසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය වී ඇත. අභ්‍යාස සහ සී.ආර්.පොත් මුද්‍රණය කිරීම සදහා තමන් විසින් තෝරා ගන්නා ලද්දේ ඒ සදහා ඉහළ සුදුසුකම් සහිත ආයතනයක් බවත්,ඒ අනුව පොත් ලක්ෂ 05 ක් මුද්‍රණය කර අවසන් බවත් මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී හිටපු ආණ්ඩුකාරවරයා එදා සදහන් කර සිටියේය.
මෙම පොත් අලවි කිරීම සිදු කර ඇත්තේ මහා පුදුමාකාර ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.වයඹ පළාත තුළ පිහිටි සෑම පාසලකටම කිසියම් පොත් ප්‍රමාණයක් 2019 අගෝස්තු මාසය වන විට ලබා දීමට හිටපු ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.එම අභ්‍යාස සහ සී.ආර්.පොත් තම පාසලේ දරුවන් අතර අලවි කර ඉන් ලැබෙන මුදල් කඩිනමින් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයට එවන ලෙසද ආණ්ඩුකාරවරයා ලිඛිතව නියම කර ඇත. මෙම පොත් අලවි කිරීමේ කටයුත්තට ලංකා විදුහල්පති සංගමය තම විරෝධය පළ කර සිටියේය. අධ්‍යාපන සංවර්ධන අරමුදල නමින් සිදු කරන්නට යන්නේ “ලොකු මගඩි ව්‍යාපාරයක්” බවත්,ඒ සදහා තම සාමාජිකයින් හවුල් කර නොගන්නයි ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා දිගින් දිගටම වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය.නමුත් වයඹ පළාතේ අධ්‍යාපන බලධාරීන්ගේ බලකිරීම මත ඇතැම් විදුහල්පතිවරුන් විසින් තම පාසලේ දරුවන්ට අභ්‍යාස සහ සී.ආර්.පොත් අලවි කිරීම සිදු කර ඇත.
පාසල් වලට අමතරව වයඹ පළාතේ පළාත් පාලන ආයතන වෙතද වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් මෙම අභ්‍යාස සහ සී.ආර්.පොත් අලවි කිරීම කිරීම සදහා ලබා දී ඇත.වයඹ පළාත් පාලන සහකාර කොමසාරිස් එම්.ටී.එන්.කරුණාසේන මහතා 2019.07.23 වැනි දින කුරුණෑගල, පුත්තලම, හලාවත සහ කුලියාපිටිය නගරාධිපතිවරුන් වෙත ලිපියක් යවමින් දැණුම් දී ඇත්තේ එම පළාත් පාලන ආයත වෙත ලබා දුන් අභ්‍යාස සහ සී.ආර් පොත් සදහා වන මුදල චෙක් පතකින් 2019.07.24 වැනිදා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත බාර දීමට කටයුතු කරන ලෙසය.එම ලිපිය ඉතා හදිසි සහ වැදගත් එකක් බවටද සටහන් කිරීමටද වයඹ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා කටයුතු අමතක කර නැත.
නමුත් අවාසනාවකට පළාත් පාලන ආයතන වෙත ඒ ආකාරයට ලබා දී ඇති අභ්‍යාස සහ සී.ආර් පොත් අලවි කළ ආකාරයක් මේ වන විට අපහැදිලි කරුණක් බවට පත්ව ඇත. එමෙන්ම මෙම අභ්‍යාස සහ සී.ආර් පොත් තොගය කුරුණෑගල සිට වයඹ පළාතේ පාසල් සහ පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීම් සිදු කර ඇත්තේ වයඹ පළාත් සභාවට අයත් වාහන වලිනි.ඒ සදහා යොදා ගෙන ඇත්තේද වයඹ පළාතේ සභාවේ සේවකයින් බව අප විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත. පොත් බෙදා හැරීම සදහා කොපමණ මුදල් ප්‍රමාණයක් වැය වුවාද යන්න මෙතෙක් අපහැදිලි කරුණක් වී ඇත.
මේ සම්බන්ධයෙන් විස්තර සොයා බැලු අපට ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති විමල් විජයරත්න මහතා හමු විය.හෙතෙම මෙසේ කියා සිටියේය.“වයඹ හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් ආරම්භ කරන ලද වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල සදහා මුදල් එකතු කිරීමට අලවි කිරීම සදහා පොත් අපේ පාසලටත් ලැබී තිබෙනවා.එම පොත් තොගය ගෙනවිත් ඇත්තේ රාත්‍රී කාලයේ.පොත් තොගය ගෙනවිත් බාර දී ඇත්තේ පාසලේ මුරකරුටයි.කිසිදු වගකිව යුතු නිලධාරියෙකුට එම පොත් තොගය බාර දීලා නැහැ.අනිත් කාරණය අපිට බැහැ පාසල් දරුවන්ට පොත් අලවි කරන්න.ළමයින්ට පොත් මිළදී ගන්න කියලා බල කරන්න කිසිදු විදුහල්පතිවරයෙකුට හෝ ගුරුවරයෙකුට අයිතියක් නැහැ.ඒ නිසා අපේ පාසලට ලැබුණු පොත් සියල්ල තවමත් පාසලේ පුස්තකාලයේ ගොඩ ගහලා තියනවා.අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඇවිත් ඒ පොත් තොගය ආපසු අරගෙන යන්න පුළුවන්.ඒක අපිට කරන ලොකු උදව්වක්.”
ඇතැම් පාසල් වල විදුහල්පතිවරුන් විසින් ඉතාමත්ම අසීරුවෙන් තමන්ට ලැබුණු අභ්‍යාස සහ සී.ආර් පොත් අලවි කර අදාල මුදල් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යලය වෙත බාර දීමට කටයුතු කර ඇත.තවද පළාත් පාලන ආයතන විසින්ද තමන් වෙත ලැබුණු අභ්‍යාස සහ සී.ආර්.පොත් සදහා වන මුදල්ද වයඹ පළාත් සභාව වෙත චෙක්පත් මගින් ලබා දී ඇති බවද අප විසින් කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය වී ඇත.එම මුදල් බාර ගෙන ඇත්තේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගබඩා බාරකරු ලෙස කටයුතු කර ඇති ටී.එම්.අතුල තෙන්නකෝන් නම් අයෙකු විසිනි.ඔහු තමන් වෙත ලැබුණු මුදල් සහ චෙක්පත් වෙනුවෙන් ලදු පත් පවා නිකුත් කර ඇති බවද අපට අනාවරණය කර ගැනීමට හැකි විය.ඉබ්බාගමුව අධ්‍යාපන කොට්ඨාසයේ විදුහල්පතිවරුන් විසින් පමණක් අදාල පොත් අලවි කිරීම තුළින් ලැබුණු රුපියල් ලක්ෂ 17 ක මුදලක් අදාල අරමුල සදහා ලබා දී ඇති බවද අනාවරණය කර ගැනීමට අපට හැකි විය.
වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරයා විසින් සිදු කර ඇති මෙම පොත් මගඩිය සම්බන්ධයෙන් අප මාධ්‍ය මගින්ද විටින් විට කරුණු හෙලි කර සිටියේය. එමෙන්ම ලංකා විදුහල්පති සංගමය විසින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තම විරෝධය පළ කර සිටියේය.එහි ප්‍රතිඵලයක් ලෙස වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ පුද්ගලික ලේකම් උමයිර් මුසම්මිල් මහතා විසින් 2020.01.17 වැනිදා වයඹ ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියකින් දැණුම් දී ඇත්තේ වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් විධිමත් විගණනයක් සිදු කර වාර්තා කරන ලෙසය.එම ලිපියේ පිටපතක් ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා වෙතද ආණ්ඩුකාර පුද්ගලික ලේකම්වරයා විසින් යොමු කර ඇත.නමුත් මේ වන තුරු එම විගණනයේ තොරතුරු තමන් වෙත නොලැබුණු බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් ආරම්භ කරන ලද වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් අප තොරතුරු දැන ගැනීමේ පතන(RTI) යටතේ වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයට 2021.12.31 වැනිදා අයදුම්පත්‍රයක් යොමු කරන ලදි.අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදය,ඒ සදහා වැය වූ මුදල් ප්‍රමාණය,ලැබුණු මුදල් සහ එම මුදල් ගිණුම් ගත කිරීම සම්බන්ධයෙන් වන තොරතුරු ලබා ලෙස ලෙස මෙම ලියුම්කරු විසින් අදාල අයදුම් පත්‍රය මගින් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ තොරතුරු නිලධාරී එස්.ඒ.ඒ.යු.කේ.සමරසිංහ මහතා විසින් 2022.01.13 වැනිදා පිළිතුරු ලිපියක් එවා ඇත.වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තම කාර්යාලයේ නොමැති බව වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ තොරතුරු නිලධාරීවරයා විසින් එවා ඇති එම ලිපියේ සදහන් වේ.පළාත් ආණ්ඩුකාරවරයා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක තොරතුරු එම කාර්යාලයේ නොමැති බව වගකිව යුතු නිලධාරියෙකු කර ඇති ප්‍රකාශය බරපතල තත්ත්වයක් වන්නේය.
අනතුරුව මෙම ලියුම්කරු විසින් මේ සම්බන්ධයෙන් වයඹ ප්‍රධාන අමාත්‍යාංශය වෙත තොරතුරු දැන ගැනීමේ පනත (RTI) යටතේ 2022.01.15 වැනිදා නැවත වතාවක් අයදුම්පතක් යොමු කරන ලදි.එම අයදුම්පතට 2022.02.22 වැනිදා වයඹ පළාත් සභාවේ ජේෂ්ඨ සහකාර ලේකම් එම්.එම්.ඒ.බී.මහවත්ත මහතා විසින් අංක NWP/CM/AD – 23/9(වෙ3) අංකය යටතේ “වයඹ පළාත් අධ්‍යාපන අරමුදල සම්බන්ධයෙන් ඉල්ලා ඇති තොරතුරු” මෙම ලියුම්කරු වෙත ලබා දෙන ලෙසට වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන 1) වෙත ලිපියක් යොමු කර ඇත.එම ලිපියේ පිටපත් මෙම ලියුම්කරු වෙතද වයඹ පළාත් සභාවේ ජේෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් එවා ඇත.වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් එම තොරතුරු මෙතෙක් ලබා දීමට වයඹ පළාත් සහකාර ලේකම් (පාලන 1) මෙතෙක් කටයුතු කර නැත.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවී ඇති “වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල” සම්බන්ධයෙන් වන තොරතුරු ආණ්ඩුකාර කාර්යාලයේ නොමැති වීමත්,අදාල තොරතුරු ලබා දීමට ප්‍රධාන අමාත්‍යාංශය කටයුතු නොකිරීමත් ගැටළු සහගත වන්නේය.බෝලය දෙපැත්තට යොමු කරමින් පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ප්‍රධාන අමාත්‍යාංශය විසින් සිදු කරන්නේ කුමක්ද යන්න අපහැදිලි කරුණක් වී ඇත. වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් විධිමත් විගනනයක් සිදු කරන ලෙස වයඹ පළත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුද්ගලික ලේකම්වරයා විසින් 2020 ජනවාරි මස 17 වැනිදා වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී ඇති බව මෙම ලිපියේ පෙර සදහන් කර ඇත.එවන් විගණනයක්ද මෙතෙක් සිදුවී නොමැති බව මෙම ලියුම්කරු විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
තොරතුරු සහ සටහන් නොමැති වීමත්, නිසි විගණනයක් සිදු නොවීමත් තුළින් ගම්‍ය වන්නේ වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදල සම්පූර්ණයෙන්ම සුදු අලියෙකු බවට පත් වී තිබීම බව නොවන්නේද?
මේ ගෙවී යන්නේ 2024 වර්ෂයයි.වයඹ හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්නගේ සෘජු මැදිහත්වීම මත සිදුවී ඇති මෙම මුල්‍ය වංචාවට මේ වන විට වසර 05 ක් ගෙවී ගොස් ඇත.2019 වර්ෂයේ අලවි කිරීම සදහා යැයි පවසා ඇතැම් පාසල් වලට බෙදා හැර ඇති අභ්‍යාස පොත් තවමත් එම පාසල් වලමය.අභ්‍යාස පොත් අලවි කිරීමෙන් අනතුරුව පලාත් සභාවට එවා ඇති මුදල් තියන තැනක් දන්න කෙනෙක් හෝ නැත.අරඹන බව පැවසූ වයඹ පළාත් පාසක් සංවර්ධන අරමුදලට සිදුවූ දෙයක්ද නැත.
හොදම දේ දරුවන්ට යැයි කියමනක් ඇත.නමුත් මෙවැනි ක්‍රියාවන් නිසා වර්තමානයේ අපට පවසන්නට සිදුවී ඇත්තේ වෙනත් දෙයක් නොවන්නේද?
සටහන – ජූඩ් සමන්ත





Leave a Reply