මූලිකව රුපියල් ලක්ෂ 76ක මුදලක් වැයකරමින් ඉදිකරන්නට යෙදුණු බදුල්ල බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් අතරමග නතරවීමෙන් බොහෝ දුෂ්කරව බැඩ්මින්ටන් ක්‍රීඩාව කරගෙන යන ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුන්ව ඇතැයි එම ක්‍රීඩකයින් පෙන්වා දෙයි.
2019 ජනවාරි 23වන දින එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුලු දේශපාලන අධිකාරිය මෙන්ම වත්මන් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුලු බැඩ්මින්ටන් සංගමයේ බළධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බදුල්ල බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයට මුල්ගල් තැබිණි. ඒ බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට යාබදව ඇති ඉඩමකයි.
එසේ මුල්ගල් තබන්නට යෙදුණු ක්‍රීඩාගාරයේ ඉදි කිරීම් සදහා රොහාන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ පනහක මුදලක් බදුල්ල බැඩ්මින්ටන් සංගමයට ලබාදී තිබේ. තවත් රුපියල් ලක්ෂ 26ක මුදලක් බදුල්ල බැඩ්මින්ටන් සංගමය වියදම් කර ඇත. ඒ අනුව එම මුදල් වැය කරමින් අදාල කොන්ත්‍රාත් සමාගම විසින් ක්‍රීඩාගාරයේ වැඩ ආරම්භ කර තිබුණි. මේ වන විට බේස් වලවල් කපා බිම් මට්ටම දක්ව කොන්ක්‍රීට් කණු ගොඩනගා ඇති නමුත් වසර හතරක කාලයක් ගතවන මේ මොහොත වන තුරුත් ඉදිකිරීම් එතැනින් අවසන්ව ඇත.
මෙම ක්‍රීඩාගාරය ඉදි කෙරෙන්නට යෙදෙන භූමිය බදුල්ල මහ නගර සභාව සතු එකකි. බදුල්ල බැඩ්මින්ටන් සංගමය නගර සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව වසරකට රුපියල් හැත්තෑපන්දහසක (75000/=) බදු පදනම මත වසර දහයකට (2019.08.31 සිට 2029.08.31) මෙම භූමිය බදුල්ල බැඩ්මින්ටන් සංගමයට ලබාදී ඇති බව බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන්ත මහතා සදහන් කලේය.
වාර්ෂිකව නගර සභාවට ගෙවිය යුතුව ඇති රුපියල් 75,000.00ක මුදල නිසි පරිදි නගර සභාවට ගෙවිය යුතු වුවද 2019 සහ 2020 වසර වලට අදාලව බදු මුදල් එවකට බදුල්ල බැඩ්මින්ටන් සංගමය මගින් ගෙවා ඇත.
නමුත් 2021 වසරට සහ 2022 වසරට බදු මුදල් නොගෙවීමක් මතුවීමත් සමග බදුල්ල මහ නගර සභාව බම/3/6/6/2017-8 අංකය යටතේ 2023.04.25 දිනෙන් නාගරික කොමසාරිස් ඊ.ජී.ජේ.පී. ආරියරත්න මහතාගේ අත්සනින් යුතුව දේපල නැවත පවරා ගැනීමට අදාලව කටයුතු කරනා බව දන්වමින් බදුල්ල බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාට ලිපියක් ද යවා ඇති අතර,
එම ලිපිය යවා මාස කිහිපයකට පසුව 2021, 2022 සහ 2023 දක්වා බදු මුදල් ගෙවූ බව සදහන් වෙයි. නමුත් මෙම ඉදිකිරීමට අදාල ගොඩනැගිල්ලේ ආකෘතිය පවා මේ වන තෙක් නගර සභාවට ඉදිරිපත් කර නැති බවත් ගිවිසුම් කාලය තවත් වසර පහකින් නිමාවන බවත් ගෙවීගිය කාලය තුලදී කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් සිදු නොවන බවත් පෙනී යන හෙයින් මෙම ඉඩම නැවත නගර සභාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරනා බව නාගරික කොමසාරිස් වරයා වැඩි දුරටත් සදහන් කලේය.
එමෙන්ම මේ දක්වා කර ඇති ඉදිකිරීමට අදාලව ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් සකස් කරනා බවත් ඉදිරියේදී එම ගොඩනැගිල්ල වෙනත් කටයුත්තක් සදහා යොදා ගැනීමට අදහස් කරනා බවද නාගරික කොමසාරිස් වරයා සදහන් කලේය.
බදුල්ල බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපති ජයසූරිය ද සිල්වා මහතා,
“මගේ දූර කාලයේදී මෙම ක්‍රීඩාගාරය හදන්න අවශ්‍ය සැලසුම් දියත් කරන්න විශාල කැපකිරීමක් කලා. බදුල්ලේ බැඩ්මින්ටන් නගා සිටුවන්න විශාල වෙහෙස මහන්සියක් ගත්තා. පෞද්ගලික ක්‍රීඩාගාරවල තරගාවලි පවත්වලා බදුල්ලෙන් ජාතික තලයට ක්‍රීඩකයින් ගෙනාවා. නගර සභාවේ ගිවිසුමට අදාලව කටයුතු කලා. නමුත් කොරෝනා අවධියේදී අපේ වැඩ පිළිවෙල යම් පසුබෑමකට ලක්වුණා. ඒත් එක්කම පැවති නිළවරණයේදී මාව ඉවත් කරන්නට කටයුතු කරමින් වෙනත් පාර්ශවයක් එහි බළය ගත්තා. නමුත් අපි කරගෙන ආපු වැඩ ටික පත්වුණු නිළදාරීන් කල යුතුයි. මේ දේ කරන්නේ අපේ ක්‍රීඩකයින්ගේ උන්නතිය සදහායි. ඒ දේ වර්ථමානයේදී සිදුවෙලා නැහැ”
මේ සම්බන්ධයෙන් අදහස් පලකල බැඩ්මින්ටන් පුහුණු කරුවෙක්,
“අපිට නිසි ක්‍රීඩාගාරයක් බදුල්ලට නැහැ. නමුත් අපි කොහොම හරි පෞද්ගලික ක්‍රීඩාගාරවල පුහුණුවීම් කරමින් බදුල්ලෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ජාතික තලයට ගෙන ආවා. මෙම නව ක්‍රීඩාගාරය ගැන අපි බොහෝම බලාපොරොත්තු තියාගත්තා. එවකට බදුල්ල සංගමයේ සභාපති වරයා ඇතුලු නිළධාරීන් ක්‍රීඩාගාරයේ වැඩ කරගෙන ආවා. නමුත් පහුගිය නිළවරණයේදී නිළදාරීන් වෙනස් වුණා. එම වෙනස් වීමත් එක්ක ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් අතරමග නැවතුණා කියලයි අපිට හිතෙන්නේ. පෞද්ගලික ගැටලු නිසා අද ක්‍රීඩාගාරයේ බලාපොරොත්තුව අපිට අහිමි වෙලා. දැන් එම ස්ථානය කැළෑවක් බවට පත්වෙලා. දැන් වුනත් පරක්කු නැහැ. කඩිනමින් මේ ගැන සොයා බලා වැඩ පිළිවෙලක් දියත් කරන්න කියා ඉල්ලනවා”
බදුල්ල බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපති නෙවිල් ද සිල්වා මහතා,
“පහුගිය කාලයේදී රටේ පැවතුණු තත්වයත් එක්ක මෙම ක්‍රීඩාගාරය ඉදි කිරීම් කරගන්නට නොහැකි වුණා. මෙහි බදු මුදල් මග හැරියා නෙවෙයි. අපිට මෙම බදු මුදල් ගෙවීමේ හැකියාව තිබෙනවා. නගර සභාවෙන් එවූ ලිපිය අප සංගමයේ නව ලිපිනයට නෙවෙයි එවා තිබුණේ. එම නිසා ලිපිය ලැබෙන විට දින පහුවෙලා තිබුණා. නමුත් මේ වන විට අපි බදු මුදල් ගෙවා තිබෙනවා. ඒ වගේම තමයි මෙහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන්න නගර සභාවත් එක්ක සාකච්ඡා කරන්න අපි කටුයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් අපිට සිතූ පරිදි මෙම ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය ඉදිකිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙනවා. කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩාගාරය ඉදිකිරීමට අදාල භූමියේ විශාල පස් ගොඩක් ගොඩකර තිබෙනවා. ඒ නිසාම ඉඩම කැලෑවැදී තිබෙනවා. ඒ සම්බන්ධවත් නගර සභාවත් එක්ක සාකච්ඡා කල යුතුව තිබෙනවා. අපිට ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීමට නොහැකි වුවහොත් එළිමහන් ක්‍රීඩාංගණයක් හෝ සාදා බැඩ්මින්ටන් තරගාවලි පැවැත්වීම අපේ අදහසයි”
බදුල්ල බැඩ්මින්ටන් සංගමයේ වත්මන් ලේකම් තිලක් ජයසිරි මහතා,
“ක්‍රීඩාගාරය ඉදිකරන මොහොතේ වගේම වත්මනෙත් මම ලේකම්. අපිට තරගාවලි තියන්න හොද ක්‍රීඩාංගණ නැහැ. බදුල්ලේ ඉදිකරන්නට ගිය මෙම ස්ථානය බැඩ්මින්ටන් වලට කදිමට ගැලපෙනවා. මොකද මේ අවට ක්‍රීඩා සංකීර්ණයක් තියෙන නිසා එය වඩාත් කාලෝචිතයි. අපිට අවශ්‍ය මෙම ක්‍රීඩාගාරය හෝ එහෙමත් නැත්නම් නගර සභාව යෝජනා කරන ස්ථානයේ කෙසේ හෝ ක්‍රීඩාගාරය ඉදිකිරීමයි”
මෙම ඉදිකිරීමට පරිභාහිරව ලේකම් වරයා පවසන නගර සභාව යෝජනා කරන වෙනත් ස්ථානය පිළිබදව නාගරික කොමසාරිස් වරයාගෙන් අප කරුණු විමසා සිටියා.
“ඔවු. අපි යෝජනා කලා මෙම අදාල ගොඩනැගිල්ල ඉදි නොකරන්නේ නම් අපි වෙනත් ස්ථානයක් ඒ සදහා දෙන්නම් කියලා. එය කොම්පෝස්ට් ව්‍යාපෘතිය සිදුකල ස්ථානයක්. නමුත් එය ක්‍රීඩාවට උචිත ස්ථානයක් නොවන නිසා අපි එම යෝජනාව හකුලා ගත්තා”
යනුවෙන් පැවසීය.
කෙසේ වෙතත් මැති ඇමතිවරුන් කැදවමින් මහා ලොකු උත්සවයක් පවත්වමින් කරන්නට ගිය සංවර්ධන කටයුත්ත මේ වන විට නතරවී ඇත. සභාපති වරයාගේ හෝ බැඩ්මින්ටන් සංගමයේ මුදල් යනු රටේ ජනතාවගේම බදු මුදල් බව මෙම නිළදාරීන් දැනගත යුතුව ඇත. ලක්ෂ 76ක මුදලක් පොලොව තුලම යටකර නිහඩ වීමට අදාල නිළදාරීන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ජනතාව සිහිපත් කර සිටී.
කෙසේ වෙතත් සංවර්ධන කටයුත්තක් කිරීමේදී එහි නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු නොකිරීමත් සංගමයේ නිළධාරීන් වෙනස් වීමත් සමගින් ප්‍රතිපත්ති වෙනස් වීම් තුලින් විනාශවී යන්නේ අප කාගේත් රුපියල් බව මෙමගින් කදිමට ඔප්පුවී ඇත.
සටහන – ජයලත් දිසානායක
Leave a Reply