Loading...

 බදුල්ලේ හෘද රෝග අසාධ්‍යයි

2018 වසරේ ජූලි මස 11 වන දින ණය ගිවිසුමට අනුව යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපාදන මත සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් හදිසි අනතුරු හා හෘද රෝග ඒකකය වසර පහ හමාරක පමණ කාලයක් ඉක්ම ගොස් ඇතත් තවමත් එය මහල් දෙකකට පමණක් සීමාවී තිබේ.

එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබන්නටවූ අතර මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ පළමු අදියර යටතේ රුපියල් දෙසීය අසූතුන්කෝටි පනස් හත්ලක්ෂ හැත්තෑ හත් දහස් හත්සිය පනස් හතරක (2,835,777,754.00) වියදමින් ඉදිකිරීමට යෝජිත  දස මහල් ගොඩනැගිල්ලේ හදිසි අනතුරු ඒකකය, හෘද රෝග ඒකකය, වෛද්‍ය වාට්ටු ඒකකය ආදි වශයෙන් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

මෙම දස මහල් ගොඩනැගිල්ලේ වැඩ අවසන් වීම කෙසේ වෙතත් මේ වන විට ගොඩනගා ඇති මහල් දෙකෙහි හෝ සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නොමැතිවීම කණගාටුවට කරුණක්. බිම් මහලට අමතරව තවත් එක් මහලක් සදහා මූලික වැඩ ආරම්භ කර ඇති බවක් දක්නට ලැබෙයි.

මේ වන තෙක් ගොඩ නගා ඇති එම ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන තුන්සියයකට ආසන්න මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවා ඇති බැව් බදුල්ල ශික්ෂණ රෝහලේ උසස් නිළධාරියෙක් සදහන් කලේය. නමුත් එම මුදලට සරිලන ප්‍රමාණයෙන් හෝ මේ වන විට ගොඩනගා ඇති මහල් දෙකෙහි වැඩ සිදුකර නොමැති බැව් සදහන්. 

එම සාදන ලද මහල් දෙකෙහි කම්බි දිරාපත් වෙමින් පවතින තත්වයක්ද දැකගත හැකිවෙයි. වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් කොන්ක්‍රීටි තට්ටු සදහා දමා ඇති කම්බි සියල්ලක්ම පාහේ දිරායන තත්වයකට පත්ව ඇති බවට ජනතාවද පෙන්වා දෙයි.   

බදුල්ල ශික්ෂණ රෝහලට සමගාමීව මහනුවර, අනුරාධපුර, කුරුනෑගල, ත්‍රිකුණාමලය යන රෝහල් සදහාත් මෙම ව්‍යාපෘතිය යටතේම ගොඩනැගිලි ඉදිකිරීමට යෝජනාවී ඇතත් බදුල්ල රෝහලේ ඇරුණුකොට වෙනත් කිසිදු රෝහලක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවී නොමැති බව සදහන්. 

මෙම ව්‍යාපෘතිය ජපානයේ ජයිකා ව්‍යාපෘතියකට අනුව ක්‍රියාත්මක වන බවට නාම පුවරුවේ සදහන් වුවද මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් සියල්ලම රජය විසින් සිදුකල යුතු අතර ජයිකා ව්‍යපෘතිය හරහා ලැබෙනුයේ උපකරණ පමණක් බවත් සෞඛ්‍ය බළධාරීන් සදහන් කරයි.

මේ ව්‍යාපෘතිය ආරම්භ කලේ මහා ලොකු උත්සවයක් තියලා. ඒ උත්සවයට වියදම විතරක් බැලුවොත් තවත් ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් වෙයි. කෙසේ වෙතත් දැන් අවුරුදු 5කටත් වැඩියි. අදවන තුරු දස මහල් ගොඩනැගිල්ල කෙසේ වෙතත් හදපු මහල් දෙකවත් සම්පූර්ණ කර නැහැ. ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇති නාම පුවරුවේ දක්නට ලැබෙන ජයිකා ආධාර මත කියලා බෝඩ් ගහලා මිනිස්සුන්ව අන්දලා තියෙන්නේ. මේ බිල්ඩිම් හදන්නේ රජයේ සල්ලි වලින්. ඒ කියන්නේ අපේ බදු මුදල් වලින්. මේ වන විට මිලියන ගානක් අපේ මුදල් නිකරුනේ වියදම් කලා කියලයි මට නම් හිතෙන්නේ.

සිවිල් ක්‍රියාකාරී මහත්මයෙක් පලකලේ එවන් අදහසක්.

මේ වන විට ඌව පළාත තුළ හෘද රෝගීන්ගේ විශාල වැඩි වීමක් දක්නට ඇති අතර එම රෝගීන් සැත්කම් හා හෘද කැතීටකරණ (ඇන්ජියෝග්‍රෑම්) පරීක්ෂණ සදහා කොළඹ ජාතික රෝහලට හෝ  මහනුවර ශික්ෂණ රෝහලට යොමු කිරීමට සිදුව ඇත. එහිද විශාල පොරොත්තු ලේඛනයක සිටීමට රෝගීන්ට සිදු වන අතර සමහර රෝගීන් පරීක්ෂණ පවා සිදු කර ගැනීමට නොහැකිව ජීවිතක්ෂයටද පත්වූ අවස්ථාද වාර්ථා වෙයි. 

එමෙන්ම, මෙම රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත දස මහල් ගොඩනැගිල්ල ඉදි කිරීම තුලින් මෑතකදී ආරම්භ වුණු ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨයටත්, වෛද්‍ය ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු සදහාද රුකුලක් වනු ඇති බවයි බොහෝ පිරිසක් පවසන්නේ. 

මේ ගොඩනැගිල්ල අවුරුදු 5ක් තිස්සේ හැදුවේ නැහැ. අද එම ප්‍රදේශයම දැඩි අවලස්සන තත්වයකට පත්වෙලා. එම ස්ථානය පාරිසරික ගැටලු කිහිපයකට පවා ලක්ව තිබෙනවා. මෙම ගොඩනැගිල්ල අද හෘද රෝගීන්ටත් වඩා අසාධ්‍ය තත්වයකයි තියෙන්නේ. යනුවෙන් පුද්ගලයෙක් අදහස් දැක්වීය. 

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *