Loading...

පස්සර බස් අනතුර : “වසර 03ක් ගෙවිලත් වන්දි නැහැ” මරණයට පත් වූවන්ගේ ඥාතීන් පවසයි .

2021.03.20 වන දින ලුණුගල සිට කොළඹ දක්වා ධාවනයවූ UPND 6448 අංක දරන බස් රථය ලුණුගල පස්සර ප්‍රධාන මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් 14 දෙනෙකු මියගොස් 31 දෙනෙකුට තුවාල සිදුවී වසර 03ක් සපිරෙන මේ මොහොත වන විටත් මරණයට පත්වූ හෝ තුවාල ලත් කිසිවෙකුටත් සාධාරණ වන්දි මුදලක් හිමිවී නොමැති බැව් මරණයට පත්වූවන්ගේ ඥාතීන් මෙන්ම තුවාලකරුවන් පවසති.

මෙම අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ එක් අන්තයකට පෙරලී තිබුණු විශාල ගලක් හේතුවෙන් මාර්ගය පටුවීම හා ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් නිසා මාර්ගය අවහිර වීම සහ බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් අනතුර සිදුවූ බවට තුවාලකරුවන් චෝදනා කරති.

අනතුර සිදුවීමෙන් පසුව පස්සර පොලීසිය මගින් පස්සර මහේස්ත්‍රාත් අධිකරණයේ 41190 දරණ අංකය යටතේ බස් රථයේ රියදුරු සහ අයිතිකරුට මෙන්ම ලොරි රථයේ අයිතිකරුට එරෙහිව නඩු පවරා ඇත.

පස්සර පොලීසිය ගොනුකල නඩුවට අදාලව මේ වන විට මරණ පරීක්ෂන වාර්ථා ඇතුලු සියලු වාර්ථා කැදවා නඩුවාර 23ක් අවසන්ව ඇති අතර 2024.05.16වන දින මීලග නඩුවාරය පැවැත්වීමට නියමිතයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ පස්සර ලුණුගල මාර්ගය සංවර්ධනය කෙරුනේ ඒඑම්එස්කේ ආයතනය විසිනි. අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ එක් අන්තයකට පෙරලී තිබුණු ගල සම්බන්ධව පස්සර පොලීසිය විසින් අනතුර සිදුවීමට මාස 3කට පෙර (2020.12.07) වන දිනෙන් ඒඑම්එස්කේ ආයතනය දැනුවත්කර ඇතත් අනතුර සිදුවන තෙක්ම එම ගල ඉවත් කිරීම සිදු නොකර තිබුණි. 

නමුත් අනතුර සිදුවී දින 07ක් යන්නටත් මත්තෙන් මාර්ගයට වැටී තිබුණු ගල ඉවත් කිරීමට මාර්ගය සංවර්ධනය කල කොන්ත්‍රාත් සමාගම විසින් කටයුතු කල බවත්, අනතුර සිදුවීමට මත්තෙන් පොලීසිය දැනුවත් කර තිබියදී මෙම ගල ඉවත් කලේ නම් මෙම මහා විපත සිදු නොවනු ඇති බවත්, බස් රථයේ සහ ලොරි රථයේ රියදුරු මෙන්ම මෙම කොන්ත්‍රාත් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරියද අනතුරට වගකිව යුතු බැව් ජනතාව පවසති.

තවද, බස් රථය පෙරලුණු අන්තයේ විශාල වියදමක් දරා ආරක්ෂිත වැටක්ද ඉදිකිරීමට අදාල කොන්ත්‍රාත් සමාගම මේ වන විට කටයුතු කර ඇත. 

එමෙන්ම මෙම අනතුර සිදුවීමෙන් පසු 2021.08.27වන දින අනතුරට ලක්වූ බස් රථයේ රියදුරු මරණයට පත්ව ඇති අතර මරණයට හේතුව ලෙස විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි අනාවරණය වන්නේ.

මෙම අනතුරින් මියගිය පුද්ගලයින්ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් රුපියල් 25000/- බැගින් සහ තුවාලකරු‍වෙක්ට රුපියල් 15000/- වන පරිදි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් වෙනුවෙන් රුපියල් 1183.80ක් වශයෙන් පමණක් ගෙවා ඇත.

2021.03.20 වන දින පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ මාරක බස් අනතුරට අදාලව පස්සර අධිකරණයේ නඩු අංක 41190 යටතේ අපරාධ නඩුවක් විභාග වන බැවින් එම අනතුරින් තුවාල ලැබූ අය වන්දි අපේක්ෂා කරන්නේ නම් සිද්ධිය සිදුවූ දින සිට වසර 02ක් ඇතුලත බදුල්ල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙසට 2021.08.17 දිනෙන් පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආර්. එම්. පාලිත සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුකත්ව මියගිය පුද්ගලයින් හා තුවාලකරුවන් ප්‍රසිද්ධියට පත් කරමින් ලිපියක් අදාල විපතට පත්වූවන්ට එවා තිබේ.

ඒ අනුව අගතියට පත්වූ පාර්ශව කිහිපයක් විසින් වන්දි ඉල්ලා නඩු ගොනුකර ඇති බව සදහන්.

මෙම අනතුරට පත්වූ බස් රථය පීපල්ස් රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පු අංක SCTVBR 000008420 යටතේ 2021.02.01 සිට 2022.01.31 දක්වා වලංගු කාලයක්ද සහිතව රක්ෂණය කර ඇති බවත් බස් රථය ධාවනය සදහා අදාල මගී සේවා අවසර පත්‍ර අංක 13409 බවත් අවසරපත්‍රය හිමි මාර්ගය ලෙසට කොළඹ සිට ලුණුගල දක්වා ධාවනය කෙරෙන අර්ධ සුඛෝපභෝගී බස් රථයක් බවත් 2021.11.23 දිනෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ තත්ව ආරක්ෂණ හා භාහිර සම්බන්ධතා අධ්‍යක්ෂක වරයාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ සදහන්.  

වගකීම් දරණා ආයතන රැසක් මැදිහත්ව බස් රථය මාර්ගයේ ධාවනයට අදාල කටයුතු කර තිබෙන නමුත් එහි ගමන්ගත් මගීන්ට සිදුවූ අවාසනාවන්ත තත්වයට සාධාරණයක් කර දීමට මේ වන තෙක් කටයුතු කර නොමැති පසුබිමක අධිකරණයෙන් තමන්ට සාධාරණ තීන්දුවක් ලබාදී වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි අගතියට පත්වූ පාර්ශව දැඩි අපේක්ෂාවෙන් බලාසිටී.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *