2023 වසරේ වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් (Marine Drive) මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාවට අදාළව ගොනුකර ඇති නඩුවේ එක් චෝදනාවකට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව, “රිය අනතුරක් වළක්වා නොගැනීම” යන පළමු චෝදනාවට වරද පිළිගත් ඔහුට රුපියල් 2,500ක දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය ඊයේ (09) නියෝග කළා.
මෙම නඩුව ඊයේ කැඳවනු ලැබුවේ පළමු චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම සහ දෙවන හා තෙවන චෝදනා වන “අපරීක්ෂාකාරීව රිය පැදවීම” සහ “බීමත්ව රිය පැදවීම” යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම සඳහායි.
එම චෝදනා දෙක සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමටත්, පළමු චෝදනාවට නියම කළ දඩ මුදල ගෙවීම සඳහාත් නඩුව ලබන අගෝස්තු 20 වැනිදා යළි කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.








Leave a Reply