Loading...

හෙළ ගී කෙත අස්වැද්දූ ආචාර්ය විශාරද නන්දා මාලනිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ මහත්මියගේ අවසන් කැමැත්තට අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථනයකින් තොරවයි දේහය ආදාහනය කරනු ලැබුවා.

පසුගිය 20 වනදා නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වන විට ඒ මහත්මිය 82 වන වියේ පසුවුණා. ඇයගේ අභාවය වෙනුවෙන් රජය විසින් දින 03 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කළා.

1943 වසරේ උපත ලැබූ නන්දා මාලනියන්, ගුවන්විදුලි ළමා මණ්ඩපයේ “බුදු සාදු” ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසි අතර, 1961 වසරේ “රන්මුතු දූව” චිත්‍රපටයට ගැයූ “ගලන ගඟකි ජීවිතේ” ගීතයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්වුණා.

දශක ගණනාවක් පුරාවට “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “අරලිය ලන්දට” සහ “පිරිත් පැන්” ඇතුළු ජනප්‍රිය ගීත රැසක් දැයට තිළිණ කළ නන්දා මාලනියන්, සම්මාන රැසකින් ද පිදුම් ලැබූ සදා අමරණීය කලාකාරිනියක්.

අද පෙරවරුවේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව, මහජන ගෞරවය උදෙසා තැන්පත් කර තිබූ දේහය පස්වරුවේ රිය පෙරහැරකින් බොරැල්ල කනත්ත වෙත රැගෙන ආවේ මග දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ අශ්‍රැ තර්පණ මැදයි.

ඒ අනුව, දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීතය පෝෂණය කළ ඒ මහා යශෝරාවය අද (22) පස්වරුවේ සදහටම දැයෙන් සමුගත්තා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *